Sunday, May 24, 2009

මගේ පරිගණක ඉතිහාසය - Flashback on ma history of Computers...


ශාකුන්තලගේ මෙහෙයුම් පද්ධති පිළිබඳ තිබ්බ ලිපිය දැක්කම මටත් හිතුනා මගේ මෙහෙයුම් පද්ධති ඉතිහාසය විතරක් නෙමේ සම්පූර්ණ පරිගණක ඉතිහාසයම දාන්න... ඇත්තම කිව්වොත් මම නම් ඩොස් වලින් පටන් ගත්ත මිනිහෙක්... මට පොඩි ශිෂ්‍යත්වයක් හම්බුනා 5 වසරෙදි කොම්පියුටර් ඉගෙන ගන්න.. (1995) මුළු උතුරු මැද පළාතටම තිබ්බෙ ඒ පන්තිය විතරයි වෙන්ඩ ඇති.. ඒ වගේම පැත්තටම කොම්පියුටර් 10කට වඩා තියෙන්න නැතුව ඇති... ඒ දවස් වල පට්ට කළු පාට තිරේ තුනහමාරෙ ඩිස්කට් එකක් දාලා තමයි කොම්පියුටරෙ බූට් කලේ... පොඩි පොඩි ගේම් ටිකකුයි අකුරු ටිකක් ටයිප් කරන එකයි විතරයි කලේ... ඒවා නිකන් මැජික් වගේ ඒ කාලේ...

ඩොස් වලට පස්සේ වින්ඩොස් 95 කියලා පාට පාට ලෝකයක් ආවා... ආසාවෙ බෑ... පුදුම ලස්සනක් තියෙන්නේ... චිත‍්‍ර අඳින්න පාට කරන්නත් තිබ්බා... කෝම කෝම හරි මට ලැබුන ශිෂ්‍යත්වෙ ඉවරවුනා... පිස්සෙක් වගේ පරිගණක ගැන ඊට පස්සේ හෙව්වා... ඔයා වගේම මාත් විජය පරිගණක සගරාව, එන් පී විජේරත්න මහත්තයාගේ පොත්පත් කියවලා තමයි වැඩිපුරම පරිගණක දැනුම හදා ගත්තේ... මේ කාලේ වෙනකොට අනුරාධපුරෙ ගොඩක් ගොඩක් තැන් වල පරිගණක පන්ති පටන් ගත්තා... මාත් කෝම කෝම හරි ඔය වගේ එකකට ගිහින් බැඳුනා... මෙන්න බොලේ 95 දැන් 98 වෙලා (එතකොට 2000 විතර) මෙතනත් ඉතින් ගේම් ගහන එකයි චිත‍්‍ර අඳින එකයි තමා කලේ.. ඒ වුනාට එම් එස් ඔෆිස් එහෙම ඉගෙන ගත්තා හොඳට... හරිම වැදගත්... අපේ පැත්තේ ළමයි ගොඩක් කොම්පියුටර් ඉගෙන ගන්නා ඇවින් හිටියා මෙතනට... මගේ ගම පැත්තේ ඒ දවස් වල කොම්පියුටර් වැඩකාරයා මං තමයි (දැනුත් එහෙම තමයි ඉතින්)

පස්සේ පස්සේ ටික ටික අපේ පැත්තේ ඔෆිස් වලට පරිගණක ආවා... මං එක දවසක් ඒ වගේ අඳුනන කියන ඔෆිස් එකකට ගිහින් මට පොඩ්ඩක් කොම්පියුටරෙ පාවිච්චි කරන්න දෙන්න කිව්වා.. එතන මනුස්සයා දෙන්ඩ බෑ කිව්වා... මට පුදුම විදිහට දුක හිතිලා අඩාගෙන ගෙදර ආවා... (මට වයස අවුරුදු 13ක් විතර ඇති) එදා මං හිතාගත්තා කොහොම හරි ඉක්මනටම කොම්පියුටරයක් ගන්නවා කියලා... අපේ අම්මා මට බැංකු පොතක් දාලා තිබ්බා.. මට වයස අවුරුදු 15ක් විතර වෙද්දී ඒකේ රුපියල් 12000ක් විතර එකතු වෙලා තිබ්බා... වයස අවුරුදු 18ක් වෙනකම් ගන්න බැරි ස්ථාවර තැන්පතුවක් තමයි දාලා තිබ්බෙ.. කොහොම හරි බැංකුවෙ මැනේජර් මාමාට ලියුමක් ලියලා මෙහෙම වැඩක් කරන්න යන්නේ කියලා සල්ලි ගත්තා...

අම්මත් එක්ක ගිහින් අනුරාධපුරෙ තිබ්බ එකම එක කොම්පියුටර් කඩෙන් පාවිච්චි කරපු පෙන්ටියම් 1 කොම්පියුටරයක් ගත්තා... ඔන්න දැන් තමයි මං වින්ඩොස් 98ට හරියටම මාරු වෙච්ච කාලේ... මේක ගත්තට පස්සේ නිකන් ඉතින් මට රටක් රාජ්ජයක් ඇල්ලුවා වගේ... සතුටට කඳුලුත් එනවා... අම්මව බදාගෙන ඇඩුවා... අපේ අක්කලාත් ටික ටික පරිගණක දැනගෙන හිටපු නිසා ඒ අයටත් මං වැඩිපුර ඉගැන්නුවා..

මං කොම්පියුටරෙ කියන වචනෙ මේ දවස් වල වෙනස් කරලා මැෂින් එක කියන්න පටන් ගත්තා... ඒවගේම 2001 2002 වෙනකොට අනුරාධපුරේ පැත්තේ මෘදුකාංග ගේම්ස් සීඞී කඩ පටන් ගත්තා... වීසීඞී කඩවල් වලම මේවා විකුණන්න පටන් ගත්තා.... මාත් ඉතින් එක එක මෘදුකාංග සීඞී ගත්තා.. වැඩියම හෙව්වේ පී 1 මැෂින් වලට ගැලපෙන එව්වා... මගේ මැෂින් එකට මං වැඩිය ගේම්ස් එහෙම දාගත්තේ නෑ... (හේතුව පී 1 මැෂින්) එක එක මෘදුකාංග මං දාගෙන පාවිච්චි කර කර බැලූවා.. පොටෝෂොප් එහෙම ඉගෙන ගත්තේ මේ කාලේ.. වර්ෂන් එක 4 තමයි මං මුළින්ම පාවිච්චි කලේ... 2006 වෙනකම්ම පාවිච්චි කලේ පොටෝෂොප් 5..

මගේ කථාවේ ඉතුරු ටික පස්සේ දාන්නම් හොඳේ ????

5 අදහස්:

ශාකුන්තල | Shaakunthala on May 24, 2009 at 3:02 PM said...

බලාගෙන ගියාම රජරට පුත්‍රයටත් ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවනෙ. ඉස්සර කාලෙ computer ටිකක් දන්න අයගෙ මාර ගෙම්බර් තියෙන්නෙ. ඒව ගණන් නෙගෙන ඉදිරියට ආ එක ගැන සතුටුයි.

ලිපියෙ ඉතිරියත් දාන්න අපි එනව කියවන්න. :)

-----------------

බ්ලොග් ලිපියකට පිළිතුරු ලිපියක් ලියනකොට මුල් ලිපියේ අග තියෙන Create a Link කියන ලින්ක් එක හරහා එන්න. එතකොට ඒකෙන් පිළිතුරු ලිපියට එන්න ලින්ක් එකක් හැදෙනවා. එහෙම කළාම කියවන අයට අවස්ථා සම්බන්ධය හොයාගන්න ලේසියි. දැන් අපි හිතමු කවුරුහරි මේ ලිපිය Google Search හරහා හොයාගත්ත කියල (සිංහල බ්ලොග් කියවනයෙ සම්බන්ධයක් නැතිව). එතකොට එයා බලයි කවුද මේ ශාකුන්තල කියල. :P
ඒ නිසා වෙනත් බ්ලොග් ලිපියක් ගැන ලියද්දි ලින්ක් කරන්න.

Udara || උදාර ධර්මසේන on May 24, 2009 at 3:18 PM said...

මං ඉතුරු ටිකත් බොහෝම ඉක්මනින් දාන්න උත්සාහ කරන්නම්.. මගේ වැඩගොඩත් එක්ක හරි අමාරුයි වෙලාවක් වෙන් කරන්න... හැබැයි බොක්කට වැදුනොත් ගින්දර තමා...

ඒ වගේම ලබාදුන් උපදේශය පිලිපදින්නම්... ඇත්තටම මේක මම කලින් දැනගෙන හිටියේ නෑ... දැනුවත් කරන්න පිරිසක් සිටීම ගැන සතුටු වෙනවා ඒ වගේම ඒ අයව අගය කරනවා..

ස්තූතියි...

චානුක වත්තේගම on May 24, 2009 at 4:38 PM said...

As the founding editor of 'Wijeya Pariganaka' I am happy to hear it was useful.

Chanuka Wattegama

Narada on May 25, 2009 at 7:01 AM said...

නිමයි අයියා, එතකොට ඔබත් කලු සුදුවෙන් ආව කෙනෙක් ;)

Udara || උදාර ධර්මසේන on May 25, 2009 at 10:22 PM said...

@ chanuka - විජය පරිගණක සගරාව කියන්නේ මට නම් පරිගණක මුල් ගුරුවරයා වගේ... ඔබතුමාත් මෙතන ඉන්න එක ගැන සතුටුයි... දිගටම කියවන්න බලන්න...

@ binku malaya - ඔව් මලයෝ... හොඳ හොඳ කටුු කාලා තමයි මෙතනට ආවෙ... ඉස්සර ලැප්ටොප් එකක් කිව්වම මැජික් වගේ... අද මට ලැප්ටොප් දෙකක් තියෙනවා...

කාලය කෙතරම්....... සොදුරුදු මලයෝ....

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009