Sunday, September 20, 2009

සන්නස්ගල මහත්තයා...


කාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩත් බැරි වුන හින්දා අද නම් මොනවාහරි ලියන්ඩම ඕනේ කියලා හිතුනා.. පහුගිය දවස් ටිකේ වැඩ කීපයක් යෙදිලා තිබුන නිසයි ඔළුව නිදහසේ මුකුත් ලියා ගන්ඩ බැරුව හිටියේ.. ඒත් පුළුවන් හැම වෙලාවකම සින්ඩියේ තියෙන ලිපි නම් කියවනවා.. තව පුරුද්දක් විදිහට ඊ-මේල් චෙක් කරනවා වගේ සින්ඩිය බලනවා මොනවද අළුත් ලිපි කියලා..

අද ලියන්ඩ හිතුනේ මගේ හිතට තදින් වැදිච්ච ලිපියක් ගැන.. අද සිළු‍මිණේ (2009.09.20) සිත් මල් යාය කියව්වා නම් කවුරුත් මේ ලිපිය කියවන්ඩ ඇති... මම නම් සාමාන්‍යයෙන් පත්තරේ බලන පළමු මුරේ කරන්නේ ඔහේ බලාගෙන ශීර්ෂ ටික කියවං යන එක විතරයි.. හැබැයි ‍මේ ලිපිය දැක්කාම එක හුස්මට පළවෙනි මුරේදිම කියවන්න හිතුනා.. මේ ලිපියේ ලියලා තිබ්බේ අපේ සිංහල සන්නස්ගල මහත්තයාගේ අම්මා ගැන ඒ මහත්තයා කියන අදහස්... මට ටිකක් විතර මේ මහත්තයා ගැන පහුගිය ටිකේ කළකිරිලා හිටියත් මේ ලිපිය කියව්වාට පස්සේ ටිකක් විතර ඒ කහට මැකුනා... සන්නස්ගල මහත්තයාගේ නිර්ව්‍යාජ බවට මං නම් කවදත් ආදරෙයි.. සමහර වෙලාවට මෙච්චර පුංචි අපිටවත් වෙන්න බැරි නිර්ව්‍යාජභාවයක් සන්නස්ගල මහත්තයට තියෙනවා... දවසක් මං අහගෙන ඒ මහත්තයා කියනවා "තනියම මං වාහනේ එළවාගෙන නුවර යද්දී කඩුගන්නාව හරියෙන් වාහනේ නවත්තලා පාර අයිනේ ඉඳන් චූ කරන මනුස්සයෙක් මම" කියලා කිව්වා.. අද මේ ලිපිය කියවපුවාම මේකටත් වඩා හොඳ ආකල්පයක් මගේ ඔළුවට දැනුනා... ඒත් සන්නස්ගල මහත්තයා හොඳටම හොඳ මිනිහෙකුත් නෙමෙයි.. වැරදි අඩුපාඩු ගොඩක් තියෙන මනුස්සයෙක්... ඒකෙත් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ, මොකද අපි කවුරුත් Perfect නෑනේ... මේ ලිපියේ "මගේ අම්මාව මට මඟ හැරුනා" කියලා තියෙන්නේ මං හිතන්නේ සන්නස්ගල මහත්තයාට හරියට තමනගේ අම්මාට සළකා ගන්න බැරිවුනා කියන එක වෙන්ඩ ඕනේ.. මං වටින් ගොඩින් අහලා තියෙන විදිහට සන්නස්ගල මහත්තයා තමන්ගේ දෙමව්පියන්ට හරියට සළකලා නෑ.. ඉතින් අද හිතෙන් දුක් විඳිනවා.. දැන් කොච්චර දාන මාන දුන්නත් වැඩක් නෑ, තමන්ගේ දෙමව්පියෝ ඉන්න කාලේ නොසලකා.. ඉතින් මේ මහත්තයා මෙච්චර වමාරන්නේ ඒ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි...

මොනවා වුනත් සන්නස්ගල මහත්තයා හොඳට දුක් විඳපු හොඳට කටු කාපු මනුස්සයෙක් කියලා මට අද ලිපියෙන් තවත් තේරුම් ගියා.. මන්ද පෝෂණය පවා හැදිලා පයින් ඇවිද ගන්නවත් බැරුව, සමහරක් වේල් කන්ඩ බොන්ඩවත් නැතුව දුක් විඳපු එකෙක්.. ඒකයි ඒ මනුස්සයා අද දියුණු වෙලා ඉන්නවා නම් ඒකට රහස.. ඉතින් මේ දේවල් කටක් ඇරලා කියන්ඩ තරම් හයියක් තියෙන එකත් ඇති අප‍්පේ... අද කාලේ අම්මලාගේ තාත්තලාගේ තුට්ටු දෙකට විදලා කකා බිබී විතරක් ඉන්න එවුන් හැදෙන්ඩවත් අඩුම ගානේ...

අවසානෙට මෙන්න මේ පේලි ටික මෙතන දාන්න හිතුනා.. සන්නස්ගල මහත්තයා ලියපු මුල්ම පොත වන "සරසවි දියණියෝ" පොතේ පිදුමයි මේ..

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

මේ ලිපිය කියවන්න.. පල්ලෙහා දාලා තියෙනවා ලින්ක් එක.. අදට ලිව්වා ඇති වගේ.. මට ජය සිරිමා ‍බෝ සමිදු පිහිටයි ! :)

ලිපිය මෙතැනින් කියවන්න...

Thursday, September 10, 2009

අහසින් වැටුනු අපේ ළමයි...





දුකා අයියා ඊයේ ලියලා තිබුනු ‍බ්ලොග් සටහන නිසා මං කාලයක් තිස්සේ ලියන්නම් කියලා හිතගෙන හිටපු අදහසක් ටිකක් ඉක්මන් වුනා වගෙයි... මෙන්න මේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ගීතය පොඩ්ඩක් බලන්න... මෙතනින් අහන්නත් පුළුවන්...

අහසින් පොළොවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ...
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ...

මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පටබැඳුනේ...

අහසින් පොළොවට කඩා වැටීලද....

ගෙනත් දෙතිය රසමසවුළු මව්වරු දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ...
නැතිබැරිකම් මැද අහක දමන්නද නුඹෙ මව් ලමැදේ කිරි එරුණේ...


"දාන මාන පින් පුදමින් සැමදා ඉන්නද නුඹලා බිහිවූයේ...
මිනිසුන් ලෙස මෙහි ජීවත් වන්නට වරම් අහිමිවිද පුංචි පුතේ... "

මේ ගීතයේ අවසාන පදපේලි දෙක මං එකතු කලේ.. අනාථ ළමයින් විතරක් නෙමෙයි, රැකවරණය අහිමිව යම්කිසි ආයතනයක ආයතනගත වෙලා ඉන්න ඕනෑම කෙනෙකු‍ට අදාල සිද්ධියක් ගැන තමයි ලියන්න හිතුනේ... මේ බ්ලොග් ලිපිය කියවන බොහෝ දෙනෙක් එක වතාවක් හරි අනාථ නිවාසයකට, ආබාධ සහිත දරුවන් සිටින නිවාසයකට, වැඩිහිටි නිවාසයකට වගේ ආයතන වලට දාන දීලා ඇති.. උපන් දිනයකට, නැත්නම් මළගිය කෙනෙකුට පින්තකා, තමයි බොහෝ දෙනෙක් මේ දානමාන ලබාදෙන්නේ... අපි වැඩිහිටි නිවාස පැත්තකින් තියමු, මොකද වැඩිහිටියන් මේ කාරණේදී වැඩිපුර අදාළ නැති නිසා..

අද සමාජය ළමා නිවාස වලට දාන මාන ලබා දෙන්නේ බොහොම අනුකම්පාවෙන් "අනේ අසරණයෝ" කියන හැඟීමකින්.. ඉතින් මේ විදිහට දාන මාන ලබාදෙන විට මේ ළමා නිවාස වල ඉන්න ළමයින්ගේ මනසට ඍජුවම බලපානවා.. කුඩා කාලයේ ඉඳලම යැපුම් මානසිකත්වයට හුරු කිරීමක් නෙමෙයිද මේ ආකාරයේ දානමාන ලබාදීමෙන් සිද්ධ වෙන්නේ ? රටට ලෝකයට පේන්න ෆෝටෝ ගගහා දානමාන දෙන්න එපා.. දානයක් දුන් ආකාරයට නෙමෙයි යම්කිසි ආධාරයක් කල විදිහට මේ නිවාස වලට උපකාර කරන්න අපට බැරිද ? හැබැයි සමහරක් අය ඉන්නවා දුර දිග බලලා වැඩ කරන.. මං පෞද්ගලිකව දන්න කීපදෙනෙක් ඉන්නවා කිසිම දවසක තමන්ගේ නමවත් සඳහන් නොකර ආධාර ලබාදෙන.. කවදාවත් ඒ අය කිසිම දෙයක් මේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ... හොඳට හැදෙන්න කියන එක මිස...

අපි ගැන හිතලා බලන්න.. අපි කැමතිද කාගෙන්වත් යමක් පිනට ඉල්ලගෙන කන්න ? පව්කාරයෝ වගේ අපි දිහා බලනවට ? ඉතින් අර ළමයිනුත් අපි වගේම මනුස්සයෝ නේද ? අපිට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා නේද ? ඉතින් මේ හැම කරුණු කාරණයක් ගැනම හිතලා ඊළඟ වතාවෙ යම්කිසි ආධාරයක් ලබාදෙනවා නම් මේ වගේ නිවාස වලට ලබාදෙන්න...

ලෝකෙට පේන්න දාන දෙන්න ඕනෙ නෑ පින් ලබන්න.. සාක්කුවට බෑග් මළු වලට පුරවගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින් කියන්නේ... අවසානෙට මේකත් කියලම යන්නම්...

කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ "මනුස්සකම" මිනිසුනේ...
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ "මනුස්සකම" මිනිසුනේ...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009