Tuesday, October 27, 2009

මුහුද... වෙරළ... හා අහස...




පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුනා මගේ මේ රාජකාරී මැද්දේ... ඔළුවේ තියෙන ආතතිය යන්නත් එක්ක තමයි මේ ලිපිය ලියන්නේ... පහුගිය මගේ ලිපි වලින් දකින්න ඇති මං ආගිය දිහා... වැඩිපුරම රටේ වාටියට ලං කරලා තමයි ගියේ.. ඇත්තටම කිව්වොත් අපේ මේ පුංචි ලංකාවට ලස්සන වාටියක් මහලා තියෙනවා.. ඒක හැඩ වැඩ දාපු, මල් මෝස්තර දාපු, බීක්කු කපපු, පාට පාට වාටියක් තමයි.. ඒ තමයි අපේ ලංකාව වටේට තියෙන සුන්දර මුහුදු තීරය...

මගේ ජීවිතේ මං ආසම තැන් දෙකක් තමයි මුහුදු වෙරළ හා අහස කියන්නේ... මට මුළු ලෝකෙම වුනත් අමතක කරන්න පුළුවන් ඒ තැන් දෙක පේන තැනකට ගියපු වෙලාවට... මුහුදු වෙරළක් ළඟට ගියපුවාම වෙරළයි අහසයි දෙකම බලාගන්න පුළුවන්.. ඒ වගේම අහස මුහුදේ ගිලෙන හැටිත් අපට පේනවා... එත් ලෝකේ ලොකුම බොරුවත් ඒකයි කියලයි මට නම් හිතෙන්නේ.. ඒ කිව්වේ අපිට ඇත්තටම එතන පේන්නේ මායාවක්නේ... අපි ජීවිතේ වැඩිපුරම ආසා කරන්නේ අපට ලබාගන්න බැරිදේවල් වලට... ළඟ තියෙන දේට අපේ වැඩිපුර ආසාවක් නෑ... අපට ලබාගන්න අමාරු මායාවන්ට තමයි අපි ආසාවෙන් බැ‍ඳෙන්නේ... හරි හරි පිලොසොපි පාරවල් දාන්න ඕනේ නෑ.. :) කියන්න ගියපු දේ කියලා ඉමුකෝ..

මට ගිය සතියේ පුත්තලමේ යන්න රාජකාරියක් යෙදුනා.. ඊටත් කලිං සතියේ නැගෙනහිර පළාතට ගියා.. (ඒ ගැන තිබ්බ ලිපිය කියවන්න ඇතිනේ..) මේ සතියේ වාද්දූවේ ගියා... හැබැයි වැඩකට නෙමෙයි, වැඩක් ඉවර වෙලා නවතින්න... ඉතින් පුත්තලමේ වැඩි වෙලාවක් ඉන්න නම් ලැබුනේ නෑ.. ඒත් පුත්තලම් කලපුවේ දර්ශණ කීපයක් ගන්න අවස්ථාවක් ලැබුනා.. පුත්තලම නගරාසන්නයේ නිසා ටිකක් විතර ඒ හරිය නම් අපිරිසිදුයි.. වාද්දූවේ ගියේ රෑ නවතින්න.. හවස 6.00 විතර වෙද්දී වාද්දූව හොලිඩේ රෙසෝට් කියන තැනට ගියා.. මං නම් මීට කලින් ගොඩක් වාරයක් මෙතනට ඇවිත් ගිහිං තියෙනවා.. ඒත් මේ පාර ටිකක් කලිං එන්න පුළුවන් වුන නිසා මට හිතුනා ජායාරූප ටිකක් ගන්න.. වාහනෙන් බැහැපු ගමං දූවලා ගියා වෙරළට... ඉර නම් බැහැලා ගිහිං.. ඒත් එළිය තිබ්බා.. මගේ k750i කැමරා දුරකථනයත් දිගෑරගෙන දිගට හරහට ඡායාරූප ගත්තා.. වෙරළත් අහසත් මුහු වුනාම පුදුම ලස්සනක් තියෙන්නේ.. ඒ වෙලාවට හැදෙන එක එක පාට නිපොලැක් කලර් කාඩ් එකේවත් නෑ... ඒ විදිහටම තියෙනවා නම් පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන්... ඒත් හොඳ දේ ටිකයි කියලා කථාවක් තියෙනවානේ, ඉතින් ඒ විදිහටම ඉර හොඳට බැහැලා ගිහින් අන්ධකාර වුනාට පස්සේ මං ආවා.. නැතුව ඉතින් ටෝච් ගහලා පො‍‍ටෝ ගන්ඩයැ... නේද ?

ආහ් අද (27/10/2009) විශේෂ දෙයක් සිද්ධ වුනා.. අපේ ‍ජ්‍යෙෂ්ඨ බ්ලොග්කරුවෙක් වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ‍සහෝදරයා කොළඹ නගර සභා ශාලාව ඉදිරිපිට බස්නැවතුම්පළ ළඟින් අහම්බෙන් මුණගැසුනා...

පුත්තලම් කලපුවේ දර්ශණ කීපයක්






මේ පහළින් තියෙන්නේ වාහනේ යන ගමන් මොරටුව හරියෙදී ගත්ත දර්ශණ කීපයක්...






වාද්දූව මුහුදු වෙරළ හා අවට













Sunday, October 18, 2009

සුන්දර නැගෙනහිරට ගිය ගමනක්...


බ්ලොගේ ලියන්න ගොඩක් දේවල් තිබුනත් වෙලාවක් කලාවක් හොයා ගන්න බැරුව ලත වෙ‍වී හි‍ටියේ.. මගේ මූණූපොතේ හා ටුයි‍ටරේ ඉන්න යාළුවෝ නම් දන්නවා මං මේ දවස් වල ආගිය දිහා.. ඉතින් මේ සතියේ මුල රාජකාරි වැඩකට මට නැගෙනහිර පළාත බලා යන්ඩ සිද්ධවුනා.. අපේ යා‍ළුවෝ නම් ගොඩක් ත්‍රීකුණාමලේ එහෙමනම් ගිහින් ඇති.. ඒත් මඩකලපුවේ අම්පාරේ පැත්තේ එහෙම ගිහින් නැතුව ඇති... මගේ වාසනාවට ඔන්න දැන් දැන් රාජකාරීමය වශයෙන් හෝ මට ඒ පැත්තට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා... ‍නුවන්ස් ලේන් අයියා නම් යාපනේ ළඟදී ගිහින් තියෙනවා දැක්කා.. මටත් ඒ පැත්තට යන්න ලැබෙයි ළඟදීම.. බලමුකෝ...

ඔන්න ඉතින් අපි ගියේ අනුරාධපුරෙන් මරදන්කඩවල පාරට දාලා... එතනින් හබරණ හරහා පොළොන්නරුවට ගිහින් මනම්පිටිය හන්දියෙන් මඩකලපු පාරට දාලා කෙලින්ම ගියා... මේ මනම්පි‍ටි‍යේ රේල්පාරයි තාරපාරයි දෙකම එකට තිබ්බ පාලමක් තිබ්බා.. කෝච්චිය එනකොට සාමාන්‍ය වාහන වලට පාලම වහනවා.. ඉතින් මේක කරදර වැඩක් හින්දා දැනට අවුරුදු දෙකකට විතර කලින් මෙතන අළුත් පාලමක් හැදුවා වෙනමම සාමාන්‍ය වාහන වලට ගමන් කරන්න... මහවැලි ගඟ තමයි මේ පාළම යටින් යන්නේ... ඒ වගේම පුදුම ලස්සනට පාරවල් ටික හදලා තියෙනවා.. ඇත්තටම ඒකනම් මාර වටිනවා.. අනික මේ පාරවල් හරි කෙලින් තියෙන්නේ වංගු බංගු අඩුයි... අඩිරූලක් ගහලා හදලා වගේ... ඔන්න මං පොටෝ ටිකක් දාලා තියෙනවා වාහනේ යන ගමන් ගත්තු.. හැබැයි පුදුම රස්නයක් එළියේ තිබ්බේ.. වාහනේ ඒ.සී. දාගෙන යන නිසා බේරුනා.. :) ආ අපි මේ පාර දිගේ යද්දී තොප්පිගල කන්දත් දැක්කා.. ඔන්න පල්ලෙහා තියෙනවා...

මේ මනම්පිටියේ අළුත් පාළම...



එහා පැත්තෙන් තියෙන්නේ රේල් පාර.. පල්ලෙහායින් යන්නේ මහවැලි ගඟ...



තෙරක් නොපෙනෙන පාරවල්...


තොප්පිගල ඈතින් තියෙනවා.. මේකේ පේනවද දන්නේ නෑ..


ඊළඟට අපි වාකරේ හන්දියට ආවා... එතනින් හැරිලා තමයි මඩකලපුවට යන්න ඕනේ.. ගොඩක් අය වාකරේ එහෙම දන්නවා ඇතිනේ... ඉතින් එතනින් හැරිලා ගියාම මුලින්ම හම්බෙන්නේ වාලච්චේන නගරය... ගොඩක් අයට මතක ඇති සමාජ අධ්‍යයනය එහෙම ඉගෙන ගත්ත දවස් වල අපිට කියලා දෙනවා ලංකාවේ ලොකුම කඩදාසි කම්හල තියෙන්නේ එහේ කියලා.. ඉතින් ඔන්න ඒ නගරෙත් පහු කරං යනකොට කල්කුඩා, පාසිකුඩා වලට හැරෙන හන්දිය හම්බුනා.. අපි එහේ යන්න හිතාගෙන ගියේ නැති වුනාට මගේ පෙ‍රැත්තය නිසාම අපි පාසිකුඩා මුහුදු වෙරළ බලන්න ගියා... මෙතන හන්දියේ ඉඳන් කිමි 5ක් විතර යන්න තියෙන්නේ... යුද්ධයෙන් නටඹුන් වුන ගොඩනැගිලි තියෙනවා මේ හැම තැනකම වගේ.. ඇත්තටම මං දැක්ක ලස්සනම මුහුදු වෙරළක් තමයි පාසිකුඩා කියන්නේ... නොගැඹුරු අපවිත්‍ර නොවුනු ලස්සන නිල් පාට මුහුදු වෙරළක් මේක... අපි එතන පැයක් විතර හිටියා... පැනලා නාන්න ආස හිතුනත් වැ‍ඩේ කරගන්න බැරිවුනා... :) ඔන්න තියෙනවා එතනදිත් ගත්ත පොටෝ කීපයක්...

පාසිකුඩා වලට හැරෙන හන්දිය...



මේ ඉන්නේ පාසිකුඩා වෙරළේ.. මේ නම් මං නෙමේ... :)



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...


ඊටපස්සේ අපි මඩකලපුව බලා ආයෙත් ගමන පටන් ගත්තා.. චෙන්කලඩි කියන ගමත් ගොඩක් අය අහලා ඇති... යුද්දේ තියෙන දවස් වල මේ පැත්ත ගැන ගොඩක් කිව්වා... දැන් නම් කලබලයක් නැති පාටයි.. ඒ වුනාට යුද්ධයේ නශ්ඨාවශේෂ තාම තියෙනවා.. ඒ වගේම හැම තැනම කෑම්ප්... චෙක් පොයින්ට් තිබ්බාට අපිව නම් වැඩිය නැවැත්තුවේ නෑ.. චෙන්කලඩි ඉඳලා කිමි 40ක් විතර යන්න තියෙනවා මඩකලපුවට... ඉතින් ඒ ටිකත් ඕං ගියා... යන අතරමගදී පල්ලෙහා දාලා තියෙන පින්තූර වල වගේ මිනිස්සු බයිසිකල් වලට දර පටවාගෙන යනවා දැක්කා.. මං ජීවිතේ පළමුවෙනි වතාවට තමයි මෙහෙම දර ගෙනියනවා දැක්කේ.. හරිම ඵලදායී ක්‍රමයක් වගේ.. දර සෑහෙන ප්‍රමාණයක් මේ විදිහට අරං යන්න පුළුවන් වගේ...





මඩකලපුව කියන්නේ මඩ කලපුවටලු... :) ඒ කියන්නේ මඩ තියෙන කලපුවටලු... :) ඒ කලපුව තමයි මේ තියෙන්නේ...



අපි අපේ නවාතැනට ළඟා වෙද්දී ටිකක් හවස් වුනා.. අපේ හිතවත් සංවිධානයකින් තමයි අපිට නවාතැන් දුන්නේ.. තැන නම් හොඳයි ඒත් ටිකක් විතර රස්නෙයි.. හැබැයි අපි ආපු දවසේම රෑ හොඳට වැස්සා... දන්නවනේ ඉතින් අපි වගේ වාසනාවන්ත උදවිය ඇව්ල්ලා ගියත් ඇති... :) ඊළඟ දවසේ අපිට මඩකලපුවේ කච්චේරියේ රැස්වීම් කීපයක් තිබ්බා... ආහ් මඩකලපුවේ කච්චේරිය ගැනත් කියන්න ඕනේ... ඒක තනිකර සුද්දොන්ගෙ කාලේ තිබ්බ බලකොටුවක්.. වටේම ගාල්ලේ වගේ ගල් තාප්පයකින් වට වෙලා තියෙන්නේ... හරි ලස්සන තැනක පරණ විදිහටම තියෙනවා.. ආහ් මඩකලපුවේ ටවුමේ ලොකු තොරණක් වගේ එකක ගහලා තියෙනවා දැක්කා මෙහෙම වැකියක්.. "Welcome to the City of Singing Fish" කියලා.. මේ නම ගොඩාක් මේ පැත්තට ප්‍රසිද්ධයි... සින්දු කියන මාළුවෝ ඉන්න නගරය කියලා සුද්දෝ කියලා තියෙනවාලු ඒ කාලේ.. ඉතින් අපේ වැඩේ ඉවර කරගෙන ඊළඟ රැස්වීමට අපි අම්පාර බලා පිටත් වුනා... එතකොට තියෙනවා කවුරුත් දන්න කියන පාළමක් හරහා යන්න... ඒ තමයි "කල්ලඩි පාළම"... ගුණදාස කපුගේ "කල්ලඩි පාළම පාමුල සින්දු කියන මාළුවෝ" කියලා කියන්නේ මෙන්න මෙතනට තමයි... මේ පල්ලෙහා තියෙන පින්තූරෙන් බලාගන්න පුළුවන් ඒ පාළම... හැබැයි මේ දවස් වල අළුත් පාලමකුත් හදනවා මීට එහා පැත්තෙන්... ආහ් තව දෙයක් කියන්න ඕනේ.. ලංකාවේ කල්ලඩි කියලා නගර දෙකක් විතර මං දන්න විදිහට තියෙනවා.. දෙකේම පාළම් තියෙනවා... එකක් තමයි මේ මඩකලපු එක... ඒක තමයි ගුණදාස කපු‍ගේ මහත්තයාගේ සින්දුවෙන් කියන්නේ.. අනික් එක තියෙන්නේ පුත්තලම කල්පිටියේ.. පුත්තලමයි කල්පිටියයි යා කරන්නේ මේ කල්අඩි පාළමෙන්.. මං නම් මේ තැන් දෙකටම ගිහින් තියෙනවා...


කල්ලඩි පාලම.........


මඩකලපුවේ ගොඩක් ඉන්නේ මුස්ලිම් දෙමළ අය... හැබැයි මෙහේ මුස්ලිම් අයට වැඩි පිළිගැනීමක් නෑලු.. තිහාරිය පැත්තේ ඉන්න මගේ යාළුවෙක් කිව්වේ මඩකලපු මුස්ලිම් අය අඩු කුලේ අයලු.. ඒගොල්ලෝ මඩකලපු මුස්ලිම් අයට කියන්නේ "මට්ටයෝ" කියලා... ඉතින් ඒ වුනාට මඩකලපුව ප්‍රසිද්ධ වෙලා තියෙනවා කෑම බීම කීපයකට... ඒ අතරින් කොත්තු රොටී තමයි මුල් තැනට ඒන්නේ... කොත්තු රොටී ලංකාවේ මුලින්ම පටන් ගත්තෙත් මඩකලපුවේ කියලා මං අහලා තියෙනවා.. ඒ වගේම මඩකලපු සරුවත් ගැනත් ගොඩක් අය දන්නවා.. ලංකාවේ හොඳම සරුවත් තියෙන්නේ මඩකලපුවේලු.. ඉතින් මං අතෑරියේ නෑ, ගැහුවා මඩකලපු සරුවත් එකක්.. ෂා මරු පානය.. එළකිරි, ජෙලි, දෙඩම් යුෂ, කලරින්, අයිස්කැට, කසකසා අයිස්ක්‍රීම් කියන ඒවා ඔක්කොම දාලා තමයි හදන්නේ.. සරුවත් බීව්වට මට මඩකලපු කොත්තු නම් කන්න බැරිවුනා... ලබන පාරවත් බලමු...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



ඔන්න ඔය විදිහට මඩකලපු දිස්ත්‍රික්කයෙන් අපි අම්පාර බලා යන්න පිටත් වුනා... කාත්තන්කුඩි, අරයම්පති, පෙරියකල්ලාර්, කල්මුනේ පහුකරගෙන අපි අම්පාර දිස්ත්‍රික්කයට ටික ටික ළඟා වුනා... කරෙයිතිව් හන්දිය ටිකක් වැදගත් තැනක්.. මෙතනින් තමයි ආරුගම් බේ, අක්කරෙයිපත්තු වලට හා සමන්තුරෛ අම්පාර පැත්තට හරවන්නේ... මේ හන්දියෙන් කෙලින්ම ගියොත් ආරුගම් බේ පැත්තට යන්න පුළුවන්.. දකුණට දැම්මොත් සමන්තුරෛ, අම්පාර පැත්තට යන්න පුළුවන්.. මේ හරියෙ නම් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් අය... සමන්තුරෛ ඉඳලා කිමි 35ක් විතර පහුකලාම අම්පාරට ළඟා වෙන්න පුළුවන්... ඔන්න ඉතින් අපි එහෙටත් ආවා... මේ පැත්තේ පේන තෙක් මානෙට කුඹුරු... එක යායට ලියදි... මහා විශාල ප්‍රමාණයේ ඒවා.. හැබැයි තාම වතුර නැති නිසා කුඹුරු වගා කරලා නෑ.. හරිම කාෂ්ටකේ.. හැබැයි වැස්සක් දෙකක් විතර ගියාට පස්සේ හොඳ ලස්සනට එයි...

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


අම්පාරේ කච්චේරියෙත් රැස්වීමක් තිබ්බා.. එකත් ඉවර වෙලා අපි ගියා ඉඟිනියාගලට.. අපේ බොසාගේ නෑයෙක්ගේ ගෙදරකට... එහේ ගිහින් වැව් මාළු බැදලා බත් කාලා අපි ආයෙත් අනුරාධපුරේ බලා පිටත් වුනා.. ඒ අතරමගදී නාමල්ඔය ජලාශය හරහා ගල්ඔය රක්ෂීතය පහුකරගෙන තමයි ගියේ.. ඕං පල්ලෙහා තියෙනවා ඒවායේ පො‍ටෝ කීපයක්... තව දවස් කීපයක් ඉන්න හිතාගෙන ආවත් වැඩ අධික නිසා අපිට ඉක්මනින් එන්න සිද්ධ වුනා..

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



අම්පාරෙන් බිබිලෙට ඇවිත් බිබිලෙන් මහියංගනය හරහා දෙහිඅත්තකණ්ඩිය පාරේ දිඹුලාගල හරහා අර කලින් කියපු මනම්පිටිය හන්දියට ඇවිත් පො‍ළොන්නරුව හරහා සුපුරුදු පාරේ අනුරාධපුරේට සැපත් වුනා... මේ ගමනේදී අපි පළාත් 03ක් හරහා ගිහින් තියෙනවා... ඒ උතුරු මැද, නැගෙනහිර, ඌව කියන පලාත්... එතකොට දිස්ත්‍රික්ක 05ක් හරහා ගිහින් තියෙනවා... ඒ අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල කියන දිස්ත්‍රික්ක...

ඉතින් අපි දවස් දෙකක් ඇතුළත තමයි මේ ගමන ගිහින් තියෙන්නේ.. මේ වගේ ගමන් මං ගොඩක් ගියත් ලියන්න කියන්න වෙලාවක් නැති නිසා මගහැරෙනවා.. හැබැයි පුළු පුළුවන් වෙලාවට ලියනවා... එහෙනම් ගිහින් එන්නම්.. ජය සිරි මා බෝ සමිදු පිහිටයි...




Saturday, October 10, 2009

ලැප්ටොප් වල සද්දේ මදිද ? SRS WOW Sandbox...



























කාලෙකින් මෘදුකාංගයක් ගැන ලියන්න බැරි වුනා නිසා අද හිතුනා මං වැඩිපුරම පාවිච්චි කරන ගොඩක් වැදගත් වටිනා පොඩි මෘදුකාංගයක් ගැන කියන්න...

ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි හරි හමන් විදිහට ශබ්දය රසවිඳින්න ක්‍රමයක් නැති එක.. මේ දෙගොල්ලෝ අතරින් ලැප්ටොප් පාව්ච්චි කරන අය තමයි මේ ප්‍රශ්ණයට වැඩිපුරම මූණ දෙන්නේ... (මාත් මේ අත්දැකීම් වින්දා) බොහෝ වේලාවට ලැප්ටොප් වල ශබ්දය ගොඩක් අඩුයි... ඉතින් සමහර වෙලාවට ටිකක් සද්ද බද්ද තියෙන තැනක ලැප් එකෙන් මොනවා හරි අහන්න ගියාම හරි පුරස්නේ... ඒ වගේම ගීත අහන වෙලාවට ජරබර සද්ද එනවා නම් ඒකත් හරිම පුරස්නයක්... ඉතින් මේකට හොඳම විසඳුම විදිහට දැනට මම හොයා ගත්තේ SRS WOW Sandbox කියන කුඩා මෘදුකාංගය... මේ මෘදුකාංගයෙන් ශබ්දය ඉතාමත් ගුණාත්මක මට්ටමකට ‍හැරවීමත් දැනට තියෙන ශබ්දය හතර (4) ගුණයකින් පමණ වැඩි කිරීමටත් (ස්පීකර්ස් වල‍ට හානියක් නොවී) හැකියාව තිබෙනවා...

ඉතින් DVD බලන MP3 අහන අයට මේ කුඩා මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. මේක අවශ්‍ය අයට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්...


SRS WOW Sandbox v. 1.9.0.4

Saturday, October 3, 2009

ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... Old Hindi Songs...



ඔන්න වෙනදා කියනවා වගේ අදත් සුපුරුදු විදිහට "කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි වුනානේ" කියලම පටන් ගමු... :D :D

අද ලියන්න කියලා හිතුවේ කාලයක් තිස්සේ ලියන්....ඩම කියලා හිතං හිටිය "පැරණි හින්දි ගීත" ගැනයි... මගේ ජීවිතේ විනෝදාංශ කියලා කරන ඒවා අතරින් ප්‍රධානම එකක් තමයි පැරණි හින්දි ගීත අහන එක, එකතු කරන එක හා ගායනා කරන එක (අමාරුවෙන් හරි)... මං දැක්කා අපේ සිංහල බ්ලොග්කරුවන් අතරත් ගොඩාක් පැරණි හින්දි ගී රසිකයෝ රසිකාවියෝ ඉන්නවා කියලා... ඉතින් ඒක හින්දම අද පැරණි හින්දි ගීත ගැන මං හිතන දේ ලියනවා..

අපේ තාත්තාගේ පවුලේ උදවිය ගොඩක් කලාවට බරයි... සින්දු, චිත්‍රපටි තමයි ඒ අයගේ විනෝදාංශ... ඉතින් පොඩි කාලේ ඉඳලා මට ඇහුනේ සිංහල හින්දි සින්දු... හැබැයි අපේ තාත්තා විතරක් ඇබා, බොනීඑම් සංගීත කණ්ඩායම් වල සින්දු අහපු නිසා මටත් ඒවායේ පද නොතේරුනත් තාලෙට නිකම්ම නැටවුනා පොඩි කාලේ... (කැසට් පීස් තාමත් තියෙනවද කොහෙද.. හොයලා බලන්න ඕනේ..) අපේ තාත්තා සින්දු පිස්සා... හොඳට සින්දු කියන්න පුළුවන්.. තාත්තා සින්දු කියද්දී අපේ අක්කයි මායි නටනවා... අපිට තිබ්බා නැෂනල් පැනසොනික් රේඩියෝ කැසට් එකක්... අපේ පැත්තටම තිබ්බෙත් රේඩියෝ දෙකයිද කොහෙද... ඉතින් අපේ තාත්තා ළඟ කැසට් පීස් (සමහරු නම් කැසට් පීස් කිව්වාම දන්නවාද දන්නෙත් නෑ.. ඒ තරමට දැන් ඒවා අභාවයට යනවා ඩිස්කට් වගේ) පෙට්ටියක් තිබ්බා... ඊට අමතරව ඉතින් ඒ කාලෙනම් තිබ්බේ ගුවන් විදුලි නාලිකා අතේ ඇඟිලි ගානට... වෙළඳ සේ‍වය, ස්වදේශීය සේවය, රජරට සේවය තමයි අපි ඇහුවේ... මේවායේ ගොඩක් වෙලාවට පැරණි සින්දු ගියා අදට වැඩිය... මං හින්දි සින්දු වලට මෙච්චර ආස වෙන්න අනික් ප්‍ර්‍රධානම හේතුවක් තමයි ඉස්සර ජනප්‍රිය වුන හැම හින්දි සින්දුවකටම සිංහල කොපියක් තිබ්බ එක... මේ කාරණේ අනික් අයටත් පොදුයි කියලා මං නම් හිතන්නේ.... අනික් කාරණේ මේ හැම සින්දුවකම තනුව වගේම සංගීතය හිතට වදින විදිහට එකතු කරලා තියෙන්නේ ගායනයට හානියක් නොවෙන්න.. ඕනෙම පරණ සින්දුවක පැහැදිලිව කටහඬ ඇහෙනවා.. පද ටික තේරෙනවා.. මට හින්දි ටිකක් හරි පුළුවන් වෙන්න මේකත් හේතුවක්...

මුල්ම හින්දි චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ 1913 දී... ඒකේ නම "රාජා හරිස්චන්ද්‍ර"... එත් ඒක ගොළු චිත්‍රපටියක්... ඒ කියන්නේ රූප විතරයි සද්ද නෑ.. ශබ්දයත් එක්ක මුලින්ම හින්දි චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙන්නේ 1931 දී... ඒ "අලම් ආරා".. මේ චිත්‍රපටියට සින්දු 07ක් ඇතුලත් වෙලා තියෙනවා... ඉතින් මේ හින්දි සිනමා ගීත ඉතිහාසයේ පළමු වෙනි පියවර වෙන්නෙ මෙතනයි.. එත් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගය කියලා කොයි කවුරුත් හඳුන්වන්නේ 1940 - 1960 දක්වා කාලය... ඒත් මේ උදාර මහත්තයාගේ විචාරයට අනුව ස්වර්ණමය යුගය වෙන්නේ 50 දශකේ මුල් භාගේ ඉඳලා 80 දශකේ මුල් භාගය දක්වා දිවෙන කාලය... හරියටම කිව්වොත් 1949 ඉඳලා ඒ කියන්නේ බර්සාත් ඉඳලා 1982 ඩිස්කෝ ඩාන්සර් වෙනකං කාලය... (හැබැයි මේ කාලේ මං ඉපදෙන්ඩ හිතලවත් නෑ..) බර්සාත් එකේ තියෙන සින්දු හැම එකකටම වගේ මං නම් ආසයි... හැම සින්දුවක්මත් මං ළඟ බොහොම සුරක්ෂිතව තියෙනවා... මේ හැම සින්දුවකම පද පේළි වල තේරුම දන්න නිසා බොහොම හොඳට විඳින්න පුළුවන්..

මගේ පැරණි හින්දි සින්දු ලෝකේ රජ්ජුරුවෝ තමයි මොහොමඩ් රාෆි මහත්තයා... රැජිණ ගැන ආයෙ කථා දෙකක් නෑ ලතා මංගේෂ්කාර් නෝනා... එතකොට යුවරජු තමයි කිෂෝර් කුමාර් මහත්තයා... රජ සීයා තමයි මුකේෂ් මහත්තයා.. එතකොට මදන් මෝහන්, නවුෂාඩ්, ඕ.පී. නායර්, රාහුල් දේව් බර්මන් (ආර්. ඩී. බර්මන්), සචින් දේව් බර්මන් (එස්. ඩී. බර්මන්). ලක්ෂ්මී කාන්ත්-ප්යාරේ ලාල් යන පුරෝහිත (සංගීත අධ්‍යක්ෂකවරුන්) පරපුර අමතක කරන්නම බෑ... මෙතනින් එස්. ඩී. බර්මන් හා ආර්. ඩී. බර්මන් ගැන විශේෂයෙන් කියන්න ඕනේ.. එස්. ඩී බර්මන් කියන්නේ ආර්. ඩී. බර්මන්ගේ තාත්තා... මං ගොඩක් ආස කරන සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක්...

කොයින් කොහොම වුනත් මං දැං කාලේ හින්දි සින්දු වලටත් මේ ව‍ගේම ආසයි... ඒ හැම එකක්මත් එකතු කරනවා රස විඳිනවා.. ඒ ගැන ලිපියක් වෙනමම ලියන්න ඕනේ.. ඒ වගේම ළඟඳීම ලංකාවේ ජනප්‍රිය වුන පැරණි හින්දි ගීත වලට වෙනමම බ්ලොග් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා... හැමෝගෙම සහයෝගෙ ලැබෙයි කියලා හිතනවා..

අදට ඇති එහෙනම්...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009