Sunday, October 18, 2009

සුන්දර නැගෙනහිරට ගිය ගමනක්...


බ්ලොගේ ලියන්න ගොඩක් දේවල් තිබුනත් වෙලාවක් කලාවක් හොයා ගන්න බැරුව ලත වෙ‍වී හි‍ටියේ.. මගේ මූණූපොතේ හා ටුයි‍ටරේ ඉන්න යාළුවෝ නම් දන්නවා මං මේ දවස් වල ආගිය දිහා.. ඉතින් මේ සතියේ මුල රාජකාරි වැඩකට මට නැගෙනහිර පළාත බලා යන්ඩ සිද්ධවුනා.. අපේ යා‍ළුවෝ නම් ගොඩක් ත්‍රීකුණාමලේ එහෙමනම් ගිහින් ඇති.. ඒත් මඩකලපුවේ අම්පාරේ පැත්තේ එහෙම ගිහින් නැතුව ඇති... මගේ වාසනාවට ඔන්න දැන් දැන් රාජකාරීමය වශයෙන් හෝ මට ඒ පැත්තට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා... ‍නුවන්ස් ලේන් අයියා නම් යාපනේ ළඟදී ගිහින් තියෙනවා දැක්කා.. මටත් ඒ පැත්තට යන්න ලැබෙයි ළඟදීම.. බලමුකෝ...

ඔන්න ඉතින් අපි ගියේ අනුරාධපුරෙන් මරදන්කඩවල පාරට දාලා... එතනින් හබරණ හරහා පොළොන්නරුවට ගිහින් මනම්පිටිය හන්දියෙන් මඩකලපු පාරට දාලා කෙලින්ම ගියා... මේ මනම්පි‍ටි‍යේ රේල්පාරයි තාරපාරයි දෙකම එකට තිබ්බ පාලමක් තිබ්බා.. කෝච්චිය එනකොට සාමාන්‍ය වාහන වලට පාලම වහනවා.. ඉතින් මේක කරදර වැඩක් හින්දා දැනට අවුරුදු දෙකකට විතර කලින් මෙතන අළුත් පාලමක් හැදුවා වෙනමම සාමාන්‍ය වාහන වලට ගමන් කරන්න... මහවැලි ගඟ තමයි මේ පාළම යටින් යන්නේ... ඒ වගේම පුදුම ලස්සනට පාරවල් ටික හදලා තියෙනවා.. ඇත්තටම ඒකනම් මාර වටිනවා.. අනික මේ පාරවල් හරි කෙලින් තියෙන්නේ වංගු බංගු අඩුයි... අඩිරූලක් ගහලා හදලා වගේ... ඔන්න මං පොටෝ ටිකක් දාලා තියෙනවා වාහනේ යන ගමන් ගත්තු.. හැබැයි පුදුම රස්නයක් එළියේ තිබ්බේ.. වාහනේ ඒ.සී. දාගෙන යන නිසා බේරුනා.. :) ආ අපි මේ පාර දිගේ යද්දී තොප්පිගල කන්දත් දැක්කා.. ඔන්න පල්ලෙහා තියෙනවා...

මේ මනම්පිටියේ අළුත් පාළම...



එහා පැත්තෙන් තියෙන්නේ රේල් පාර.. පල්ලෙහායින් යන්නේ මහවැලි ගඟ...



තෙරක් නොපෙනෙන පාරවල්...


තොප්පිගල ඈතින් තියෙනවා.. මේකේ පේනවද දන්නේ නෑ..


ඊළඟට අපි වාකරේ හන්දියට ආවා... එතනින් හැරිලා තමයි මඩකලපුවට යන්න ඕනේ.. ගොඩක් අය වාකරේ එහෙම දන්නවා ඇතිනේ... ඉතින් එතනින් හැරිලා ගියාම මුලින්ම හම්බෙන්නේ වාලච්චේන නගරය... ගොඩක් අයට මතක ඇති සමාජ අධ්‍යයනය එහෙම ඉගෙන ගත්ත දවස් වල අපිට කියලා දෙනවා ලංකාවේ ලොකුම කඩදාසි කම්හල තියෙන්නේ එහේ කියලා.. ඉතින් ඔන්න ඒ නගරෙත් පහු කරං යනකොට කල්කුඩා, පාසිකුඩා වලට හැරෙන හන්දිය හම්බුනා.. අපි එහේ යන්න හිතාගෙන ගියේ නැති වුනාට මගේ පෙ‍රැත්තය නිසාම අපි පාසිකුඩා මුහුදු වෙරළ බලන්න ගියා... මෙතන හන්දියේ ඉඳන් කිමි 5ක් විතර යන්න තියෙන්නේ... යුද්ධයෙන් නටඹුන් වුන ගොඩනැගිලි තියෙනවා මේ හැම තැනකම වගේ.. ඇත්තටම මං දැක්ක ලස්සනම මුහුදු වෙරළක් තමයි පාසිකුඩා කියන්නේ... නොගැඹුරු අපවිත්‍ර නොවුනු ලස්සන නිල් පාට මුහුදු වෙරළක් මේක... අපි එතන පැයක් විතර හිටියා... පැනලා නාන්න ආස හිතුනත් වැ‍ඩේ කරගන්න බැරිවුනා... :) ඔන්න තියෙනවා එතනදිත් ගත්ත පොටෝ කීපයක්...

පාසිකුඩා වලට හැරෙන හන්දිය...



මේ ඉන්නේ පාසිකුඩා වෙරළේ.. මේ නම් මං නෙමේ... :)



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...


ඊටපස්සේ අපි මඩකලපුව බලා ආයෙත් ගමන පටන් ගත්තා.. චෙන්කලඩි කියන ගමත් ගොඩක් අය අහලා ඇති... යුද්දේ තියෙන දවස් වල මේ පැත්ත ගැන ගොඩක් කිව්වා... දැන් නම් කලබලයක් නැති පාටයි.. ඒ වුනාට යුද්ධයේ නශ්ඨාවශේෂ තාම තියෙනවා.. ඒ වගේම හැම තැනම කෑම්ප්... චෙක් පොයින්ට් තිබ්බාට අපිව නම් වැඩිය නැවැත්තුවේ නෑ.. චෙන්කලඩි ඉඳලා කිමි 40ක් විතර යන්න තියෙනවා මඩකලපුවට... ඉතින් ඒ ටිකත් ඕං ගියා... යන අතරමගදී පල්ලෙහා දාලා තියෙන පින්තූර වල වගේ මිනිස්සු බයිසිකල් වලට දර පටවාගෙන යනවා දැක්කා.. මං ජීවිතේ පළමුවෙනි වතාවට තමයි මෙහෙම දර ගෙනියනවා දැක්කේ.. හරිම ඵලදායී ක්‍රමයක් වගේ.. දර සෑහෙන ප්‍රමාණයක් මේ විදිහට අරං යන්න පුළුවන් වගේ...





මඩකලපුව කියන්නේ මඩ කලපුවටලු... :) ඒ කියන්නේ මඩ තියෙන කලපුවටලු... :) ඒ කලපුව තමයි මේ තියෙන්නේ...



අපි අපේ නවාතැනට ළඟා වෙද්දී ටිකක් හවස් වුනා.. අපේ හිතවත් සංවිධානයකින් තමයි අපිට නවාතැන් දුන්නේ.. තැන නම් හොඳයි ඒත් ටිකක් විතර රස්නෙයි.. හැබැයි අපි ආපු දවසේම රෑ හොඳට වැස්සා... දන්නවනේ ඉතින් අපි වගේ වාසනාවන්ත උදවිය ඇව්ල්ලා ගියත් ඇති... :) ඊළඟ දවසේ අපිට මඩකලපුවේ කච්චේරියේ රැස්වීම් කීපයක් තිබ්බා... ආහ් මඩකලපුවේ කච්චේරිය ගැනත් කියන්න ඕනේ... ඒක තනිකර සුද්දොන්ගෙ කාලේ තිබ්බ බලකොටුවක්.. වටේම ගාල්ලේ වගේ ගල් තාප්පයකින් වට වෙලා තියෙන්නේ... හරි ලස්සන තැනක පරණ විදිහටම තියෙනවා.. ආහ් මඩකලපුවේ ටවුමේ ලොකු තොරණක් වගේ එකක ගහලා තියෙනවා දැක්කා මෙහෙම වැකියක්.. "Welcome to the City of Singing Fish" කියලා.. මේ නම ගොඩාක් මේ පැත්තට ප්‍රසිද්ධයි... සින්දු කියන මාළුවෝ ඉන්න නගරය කියලා සුද්දෝ කියලා තියෙනවාලු ඒ කාලේ.. ඉතින් අපේ වැඩේ ඉවර කරගෙන ඊළඟ රැස්වීමට අපි අම්පාර බලා පිටත් වුනා... එතකොට තියෙනවා කවුරුත් දන්න කියන පාළමක් හරහා යන්න... ඒ තමයි "කල්ලඩි පාළම"... ගුණදාස කපුගේ "කල්ලඩි පාළම පාමුල සින්දු කියන මාළුවෝ" කියලා කියන්නේ මෙන්න මෙතනට තමයි... මේ පල්ලෙහා තියෙන පින්තූරෙන් බලාගන්න පුළුවන් ඒ පාළම... හැබැයි මේ දවස් වල අළුත් පාලමකුත් හදනවා මීට එහා පැත්තෙන්... ආහ් තව දෙයක් කියන්න ඕනේ.. ලංකාවේ කල්ලඩි කියලා නගර දෙකක් විතර මං දන්න විදිහට තියෙනවා.. දෙකේම පාළම් තියෙනවා... එකක් තමයි මේ මඩකලපු එක... ඒක තමයි ගුණදාස කපු‍ගේ මහත්තයාගේ සින්දුවෙන් කියන්නේ.. අනික් එක තියෙන්නේ පුත්තලම කල්පිටියේ.. පුත්තලමයි කල්පිටියයි යා කරන්නේ මේ කල්අඩි පාළමෙන්.. මං නම් මේ තැන් දෙකටම ගිහින් තියෙනවා...


කල්ලඩි පාලම.........


මඩකලපුවේ ගොඩක් ඉන්නේ මුස්ලිම් දෙමළ අය... හැබැයි මෙහේ මුස්ලිම් අයට වැඩි පිළිගැනීමක් නෑලු.. තිහාරිය පැත්තේ ඉන්න මගේ යාළුවෙක් කිව්වේ මඩකලපු මුස්ලිම් අය අඩු කුලේ අයලු.. ඒගොල්ලෝ මඩකලපු මුස්ලිම් අයට කියන්නේ "මට්ටයෝ" කියලා... ඉතින් ඒ වුනාට මඩකලපුව ප්‍රසිද්ධ වෙලා තියෙනවා කෑම බීම කීපයකට... ඒ අතරින් කොත්තු රොටී තමයි මුල් තැනට ඒන්නේ... කොත්තු රොටී ලංකාවේ මුලින්ම පටන් ගත්තෙත් මඩකලපුවේ කියලා මං අහලා තියෙනවා.. ඒ වගේම මඩකලපු සරුවත් ගැනත් ගොඩක් අය දන්නවා.. ලංකාවේ හොඳම සරුවත් තියෙන්නේ මඩකලපුවේලු.. ඉතින් මං අතෑරියේ නෑ, ගැහුවා මඩකලපු සරුවත් එකක්.. ෂා මරු පානය.. එළකිරි, ජෙලි, දෙඩම් යුෂ, කලරින්, අයිස්කැට, කසකසා අයිස්ක්‍රීම් කියන ඒවා ඔක්කොම දාලා තමයි හදන්නේ.. සරුවත් බීව්වට මට මඩකලපු කොත්තු නම් කන්න බැරිවුනා... ලබන පාරවත් බලමු...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



ඔන්න ඔය විදිහට මඩකලපු දිස්ත්‍රික්කයෙන් අපි අම්පාර බලා යන්න පිටත් වුනා... කාත්තන්කුඩි, අරයම්පති, පෙරියකල්ලාර්, කල්මුනේ පහුකරගෙන අපි අම්පාර දිස්ත්‍රික්කයට ටික ටික ළඟා වුනා... කරෙයිතිව් හන්දිය ටිකක් වැදගත් තැනක්.. මෙතනින් තමයි ආරුගම් බේ, අක්කරෙයිපත්තු වලට හා සමන්තුරෛ අම්පාර පැත්තට හරවන්නේ... මේ හන්දියෙන් කෙලින්ම ගියොත් ආරුගම් බේ පැත්තට යන්න පුළුවන්.. දකුණට දැම්මොත් සමන්තුරෛ, අම්පාර පැත්තට යන්න පුළුවන්.. මේ හරියෙ නම් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් අය... සමන්තුරෛ ඉඳලා කිමි 35ක් විතර පහුකලාම අම්පාරට ළඟා වෙන්න පුළුවන්... ඔන්න ඉතින් අපි එහෙටත් ආවා... මේ පැත්තේ පේන තෙක් මානෙට කුඹුරු... එක යායට ලියදි... මහා විශාල ප්‍රමාණයේ ඒවා.. හැබැයි තාම වතුර නැති නිසා කුඹුරු වගා කරලා නෑ.. හරිම කාෂ්ටකේ.. හැබැයි වැස්සක් දෙකක් විතර ගියාට පස්සේ හොඳ ලස්සනට එයි...

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


අම්පාරේ කච්චේරියෙත් රැස්වීමක් තිබ්බා.. එකත් ඉවර වෙලා අපි ගියා ඉඟිනියාගලට.. අපේ බොසාගේ නෑයෙක්ගේ ගෙදරකට... එහේ ගිහින් වැව් මාළු බැදලා බත් කාලා අපි ආයෙත් අනුරාධපුරේ බලා පිටත් වුනා.. ඒ අතරමගදී නාමල්ඔය ජලාශය හරහා ගල්ඔය රක්ෂීතය පහුකරගෙන තමයි ගියේ.. ඕං පල්ලෙහා තියෙනවා ඒවායේ පො‍ටෝ කීපයක්... තව දවස් කීපයක් ඉන්න හිතාගෙන ආවත් වැඩ අධික නිසා අපිට ඉක්මනින් එන්න සිද්ධ වුනා..

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



අම්පාරෙන් බිබිලෙට ඇවිත් බිබිලෙන් මහියංගනය හරහා දෙහිඅත්තකණ්ඩිය පාරේ දිඹුලාගල හරහා අර කලින් කියපු මනම්පිටිය හන්දියට ඇවිත් පො‍ළොන්නරුව හරහා සුපුරුදු පාරේ අනුරාධපුරේට සැපත් වුනා... මේ ගමනේදී අපි පළාත් 03ක් හරහා ගිහින් තියෙනවා... ඒ උතුරු මැද, නැගෙනහිර, ඌව කියන පලාත්... එතකොට දිස්ත්‍රික්ක 05ක් හරහා ගිහින් තියෙනවා... ඒ අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල කියන දිස්ත්‍රික්ක...

ඉතින් අපි දවස් දෙකක් ඇතුළත තමයි මේ ගමන ගිහින් තියෙන්නේ.. මේ වගේ ගමන් මං ගොඩක් ගියත් ලියන්න කියන්න වෙලාවක් නැති නිසා මගහැරෙනවා.. හැබැයි පුළු පුළුවන් වෙලාවට ලියනවා... එහෙනම් ගිහින් එන්නම්.. ජය සිරි මා බෝ සමිදු පිහිටයි...




7 අදහස්:

උෂාන් කෝදාගොඩ විතාරණ on October 18, 2009 at 10:01 PM said...

අර කෙලින් තියන පාරනම් මරු අපේ පැත්තෙත් තියනව ඔය වගේම පාරක් වීරවිල පාරත් ඔය වගේ කෙලින් හැබැයි කදු කදු තියනව බුන්දල පැත්තෙන් කිරින්දට යන පාර වගේ තොප්පිගල පේන ෆොටෝ එක අම්මියෝ SLT තියනව

Thameera on October 18, 2009 at 11:09 PM said...
This comment has been removed by the author.
Thameera on October 18, 2009 at 11:09 PM said...

ෂහ් මාර ගමනක්නෙ. අපේ බෝඩිමේ සෙට් එකකුත් ළඟදි මඩකලපු ගිහින් ආවා. ඒත් මට යන්න බැරිවුණා. මේක කියවලා තිබ්බනම් ඒ ගමන කොහොම හරි යනවා.

දුකා on October 19, 2009 at 1:35 AM said...

ෂා නියමයිනේ . . . අපිවත් අරන් ගියා වගේ . . . අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ . . .

දුෂාන් on October 19, 2009 at 3:17 PM said...

මටත් අාසාවක් තියනව ඔයපැත්තේ යන්න.තාම චාන්ස් 1ක් හම්බවුනේ නෑනෙ

Buru Babe on April 14, 2012 at 10:31 PM said...

ආපහු මේ ට්‍රැවල් සටහන් ලියන්න ගන්නකෝ උදාර.... මම සින්දු කියන පාලම හොයාගෙන ආවේ ආපහු මතක් වෙලා.

Ayesha on April 20, 2012 at 1:24 PM said...

මමත් ගියා දෙසැම්බර් නිමාඩුවට මඩකලපුවට. කන්නඩි පාලමේ යට සින්දු කියන මාළු ඉන්නවා කියලා මට එහෙ අය කිව්වා. ඒ මාළු සින්දු කියන්නේ පෝය දවසට හඳ පායපුවමලු නේද?

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009