Tuesday, December 29, 2009

ඒ මහා පාවාදීමෙන් පසු...


හැමෝම ඉතින් දන්නවානේ ලේක් හවුස් පත්තර මහගෙදර දැන් අරලියගහ මන්දිරේ වගේ වෙලා කියලා.. විශේෂාංග ලිපි වලත් දේශපාලනේ.. රසඳුනෙත් දේශපාලනේ.. වෙළඳ දැන්වීමුත් දේශපාලනේ.. තව ටික දවසකින් මංගල දැන්වීමුත් දේසපාලනේ වෙයිද මන්දා...

මම මේ ඊයේ පෙරේදා මඩකලපු ගියපු ගමන් පත්තර ඔක්කෝම ටික කියව කියව ගියා.. සිළුමිණේ කියෙව්වේ මේ ලිපිය විතරයි.. කෝක කොහොම වුනත් කසුරි මාමා මේ ලිපිය ලස්සනට ලියලා තිබුනා.. ඔබත් කියවා බලන සේක්වා... “සත්‍යය මේව ජයතේ”...

උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27


ඒ මහා පාවාදීමෙන් පසු...
ඒ මහා පාවාදීමෙන් පසු සතුරෝ ජේසුස් වහන්සේ කුදලා අල්ලා ගත්හ. රෙදි කඩක් පමණක් ඉතිරිකොට වස්ත්‍ර ඉවත් කළහ. කටු ඔටුන්නක් හිස මත තැබූහ. කුරුසියක් උරමත තැබූහ. කස පහර දුන්හ. පරිභව කළහ.

කුරුසියේ බර ද කස පහර ද ඉවසා ගත නොහැකිව ජේසුස් වහන්සේ බිම ඇද වැටුණේය. කුරුසියත් ඔසවාගෙන නැඟී සිටින තුරු උන් කස පහර දුන්හ.

කටු ඔටුන්නෙන් සිදුරු වූ නළල් තලයෙන් ගලන ලේ දෙකම්මුල් තෙමමින් ගලා ගියේ ය. කස පහර නිසා පුපුරා ගිය පිට පෙදෙසින් ගලන ලේ දහරා රෙදි කඩ ද ලේ පැහැ ගන්වමින් පහළට ගලා හැලුණේ් ය. පිරිමින් ගේ දෝෂ කඳට උරදුන් පව්කාර ස්ත්‍රිය වතුර බිඳක් ගෙන ඉදිරියට පැමිණියා ය. තමන් වෙනුවෙන් කල්වාරි කන්ද නඟින දේව දූතයා දෙස මිනිස්සු බලා සිටියහ.

ඔවුන්ගේ සුසුම්වලින් කල්වාරි කන්ද චලනය වීය. ඔවුන්ගේ විලාප හඬින් කඳු මුදුන දෙදරා ගියේ ය. සතා සීපාවෝ බලා සිටියහ.

අවසාන භෝජන සංග්‍රහයේ දී ජේසුස් වහන්සේ පාවාදුන් ජුදාස්ට රිදී තිහක් ලැබුණේ ය.

රිදී තිහකට මේ පාපතරයා විසින් දේවත්වය යක්ෂයින්ට පාවා දුන්නේ ය. මනුෂ්‍යත්වය මෘගයින්ට පාවා දුන්නේ ය. මානව දයාව තිරිසනුන්ට පාවා දුන්නේ ය. පව් කාර ස්ත්‍රියට ගල් ගසන විට එකම වරදක් වත් නොකළ කෙනකු පළමු ගල ගසන්න යැයි පවසමින් පිරිමින් ගේ දෝෂ කඳට යට වී හපයක් වී ගිය ඒ අසරණ ස්ත්‍රිය ගලවාගත් කරුණාව, ජුදාස් නම් වූ පාවා දෙන්නා විසින් දුෂ්ටත්වයට පාවා දුන්නේ ය.

ස්වර්ගය, අපායට පාවා දුන්නේ ය. කෙම්බිම, වියලි වැලිකතරට පාවා දුන්නේ ය. පරවියා උකුස්සාට පාවා දුන්නේ ය. මුව පැටියා කොටියාට පාවා දුන්නේ ය. සා පැටියා වෘකයාට පාවා දුන්නේ ය. කුරුලු පිහාටුව, වලස් නියකට පාවා දුන්නේ ය. සඳ වතුර ලෝ දියට පාවා දුන්නේ ය. පිනි බිංදුව, ගිනි පුපුරට පාවා දුන්නේ ය. ජීවිතය මරණයට පාවා දුන්නේ ය.

එසේ ම අන්තිමේ දී ශවේන්ද්‍ර ද සිල්වා අන්තර් ජාතික ද්‍රෝහීන්ට පාවා දුන්නේ ය. 58 වැනි සේනාංකය දුෂ්ට බලවේගවලට පාවා දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ කුමන්ත්‍රණකාරයින්ට පාවා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය අන්තර්ජාතික දුෂ්ටයින්ට පාවා දුන්නේ ය.

කීර්ති විජේබාහු, වළගම්බා, මහා පරාක්‍රමබාහු, දුටුගැමුණු ආදි නර විරුවන් විසින් ගොඩනඟන ලද ශ්‍රී ලාංකේය අභිමානය, අන්තර්ජාතික කැන හිලුන්ට පාවා දුන්නේ ය.

දැන් මේ කුමන්ත්‍රණකාරයෝ ගෝඨාභයගේ කරට කුරුසියක් තැබීමට සැලසුම් කරති. ඒ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා තම බුද්ධිය සහ ප්‍රඥාව යොදා ගනිමින් සියුම් ලෙස මානුෂික මෙහෙයුම සැලසුම් කිරීම පාපයක් වූ නිසාවත් ද?

ශවේන්ද්‍ර ද සිල්වා ගේ කර මතට ද කුරුසියක් පැටවීමට සැලසුම් කරති. ඒ මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් ගමන් කරමින් සටන් බිම පෙරමුණේ සිට සියල්ල මෙහෙයවමින් අනේක දුක් පීඩා විඳිමින් කලපුව කොටු කර ප්‍රභාකරන් නම් වූ ගොරතර පාපතරයා විනාශ කොට අපේ රට බේරා ගැනීම ශාපයක් වූ නිසා වත් ද?

කෑමක් බීමක් නොමැති ව.. වතුර පොදක්වත් නොමැතිව.. දින ගණන් සති ගණන් කටු කොහොල් මැදින් වැස්සට තෙත් බරි වෙමින් අව් කාෂ්ටයට පිළිස්සෙමින්... බූට් සපත්තු තුළ සිරවී ඇති ඇඟිලි තැලී පොඩි වී කුණුවෙන තුරු ඇවිදිමින්... අත් පා අහිමි කරගනිමින් රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ පූජා කරමින්... දරුවන්, මවුපියන්, පෙම්වතියන් අහිමි කර ගනිමින්..., සටන් බිම වෙඩි කා... ජීවිතය ම රටට දෙමින්... මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් පැමිණි 58 වැනි සේනාංකය රණවිරුවන්ගේ කර මතට කුරුසියක බර වැටුණේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී හැතිකරය විනශ කිරීම පාපයක් සහ ශාපයක් වූ නිසාවත් ද?

අපේ රට වෙනුවෙන්... අපේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන්... අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන්... අභිමානය වෙනුවෙන්... කොටින් ම අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා කුරුසියත් කර තබාගෙන අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය වෙත කස පහර කමින් අවලාද අපහාස විඳිමින් ඔවුන්ට ගමන් කරන්නට සිදු වුවහොත් ඔබ කුමක් කරන්නෙහිද? ජනතාවෙනි! ඔබේ හෘදය සාක්ෂියට තට්ටු කරන්න. ඔබේ ආත්මය ස්පර්ශ කරන්න. ඔබේ සංවේදී හදවත මත සිත තබන්න.

“මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුහු ඔබේ ගැලවුම්කාරයෝ ය. ගැලවුම් කාරයන් සහ දුෂ්ටයින් හදුනා ගන්න. එවිට සත්‍යය ජය ගනු ඇත.”

ඔබේ හෘදය සාක්ෂිය, ඔබේ හදවත පමණක් නොව ඔබේ මුළු ආත්මයම ඔබට පවසනු ඇත.

“සත්‍යය ජයගනු ඇත.”

“සත්‍යය මේව ජයතේ”

සටහන - කසුරි


උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27

4 අදහස්:

Anonymous said...

"සත්‍යය මේව ජයතේ"

මෙය "සත්‍ය මේව ජායතේ" ලෙස නිවැරදි විය යුතුය.

කොහොමටත් හාල් තුනපහ ගේන්නට අනුන්ට කඩේ යන ගමනේ කසුරි ඩිංගි මහත්තයා සේ පොට වරද්දා ගැනීම පුදුමයට කාරණාවක් නොවේ. සති කිහිපයකට කලින් මොහු මිලින්ද ප්‍රශ්නය විසඳුවේ මහෞෂධ පණ්ඩිතයන් කියා එකසිය ගානට නාගෙන පසුව නිවැරදි කිරීමක්ද දැම්මේය.

දුකා on December 30, 2009 at 1:33 AM said...

අයියෝ . . . කසුරිත් මහින්ද අබේසුන්දරගේ ගානටම වැටෙන්නද හදන්නේ . . . මේ මිනිස්සුන්ගේ කශේරුකාව මහරජ තුමා සල්ලි දීලම අරගෙන වගේ . . .

අහෝ මාධ්‍ය සදාචාරය . . . !!!

වැප් on December 30, 2009 at 10:14 AM said...

රජ ආවත් සෙන්පති ආවත් අපට වැඩක් නැහැ. මම උබ ඔතනට ගියත් කරන්නෙ ඔය ටිකම තමයි. අර විකි බාහු ඒල ඔක්කොටම වඩා. හි හි

ත‍රිඳු on December 30, 2009 at 12:10 PM said...

@taboo

හරි එක "සත්‍යමේව ජයතේ". सत्यमेव जयते සත්‍යය කියල හෝ ජායතේ කියල සංස්කෘත වචන මම දන්න තරමින් නෑ. (වැරදිනම් නිවැරදි කරත්වා.)

සත්‍යමේව කියන වචනේ හැදිලා තියෙන්නෙ සත්‍යං (ඇත්ත) කියන වචනෙට ඒව (ම) කියන නිපාතය එකතුවෙලා. ඒ නිසා ඒක වචන දෙකක් නෙමේ එකක්.

ජයතේ කියන්නෙ ජයගනී කියන එකට.

සමා වෙන්න මේක අදාල නැති ප්‍රතිචාරයක් නම්. ඒ උනාට මට මේක නොකිය බැරි උනා

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009