Tuesday, December 29, 2009

ඒ මහා පාවාදීමෙන් පසු...


හැමෝම ඉතින් දන්නවානේ ලේක් හවුස් පත්තර මහගෙදර දැන් අරලියගහ මන්දිරේ වගේ වෙලා කියලා.. විශේෂාංග ලිපි වලත් දේශපාලනේ.. රසඳුනෙත් දේශපාලනේ.. වෙළඳ දැන්වීමුත් දේශපාලනේ.. තව ටික දවසකින් මංගල දැන්වීමුත් දේසපාලනේ වෙයිද මන්දා...

මම මේ ඊයේ පෙරේදා මඩකලපු ගියපු ගමන් පත්තර ඔක්කෝම ටික කියව කියව ගියා.. සිළුමිණේ කියෙව්වේ මේ ලිපිය විතරයි.. කෝක කොහොම වුනත් කසුරි මාමා මේ ලිපිය ලස්සනට ලියලා තිබුනා.. ඔබත් කියවා බලන සේක්වා... “සත්‍යය මේව ජයතේ”...

උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27


ඒ මහා පාවාදීමෙන් පසු...
ඒ මහා පාවාදීමෙන් පසු සතුරෝ ජේසුස් වහන්සේ කුදලා අල්ලා ගත්හ. රෙදි කඩක් පමණක් ඉතිරිකොට වස්ත්‍ර ඉවත් කළහ. කටු ඔටුන්නක් හිස මත තැබූහ. කුරුසියක් උරමත තැබූහ. කස පහර දුන්හ. පරිභව කළහ.

කුරුසියේ බර ද කස පහර ද ඉවසා ගත නොහැකිව ජේසුස් වහන්සේ බිම ඇද වැටුණේය. කුරුසියත් ඔසවාගෙන නැඟී සිටින තුරු උන් කස පහර දුන්හ.

කටු ඔටුන්නෙන් සිදුරු වූ නළල් තලයෙන් ගලන ලේ දෙකම්මුල් තෙමමින් ගලා ගියේ ය. කස පහර නිසා පුපුරා ගිය පිට පෙදෙසින් ගලන ලේ දහරා රෙදි කඩ ද ලේ පැහැ ගන්වමින් පහළට ගලා හැලුණේ් ය. පිරිමින් ගේ දෝෂ කඳට උරදුන් පව්කාර ස්ත්‍රිය වතුර බිඳක් ගෙන ඉදිරියට පැමිණියා ය. තමන් වෙනුවෙන් කල්වාරි කන්ද නඟින දේව දූතයා දෙස මිනිස්සු බලා සිටියහ.

ඔවුන්ගේ සුසුම්වලින් කල්වාරි කන්ද චලනය වීය. ඔවුන්ගේ විලාප හඬින් කඳු මුදුන දෙදරා ගියේ ය. සතා සීපාවෝ බලා සිටියහ.

අවසාන භෝජන සංග්‍රහයේ දී ජේසුස් වහන්සේ පාවාදුන් ජුදාස්ට රිදී තිහක් ලැබුණේ ය.

රිදී තිහකට මේ පාපතරයා විසින් දේවත්වය යක්ෂයින්ට පාවා දුන්නේ ය. මනුෂ්‍යත්වය මෘගයින්ට පාවා දුන්නේ ය. මානව දයාව තිරිසනුන්ට පාවා දුන්නේ ය. පව් කාර ස්ත්‍රියට ගල් ගසන විට එකම වරදක් වත් නොකළ කෙනකු පළමු ගල ගසන්න යැයි පවසමින් පිරිමින් ගේ දෝෂ කඳට යට වී හපයක් වී ගිය ඒ අසරණ ස්ත්‍රිය ගලවාගත් කරුණාව, ජුදාස් නම් වූ පාවා දෙන්නා විසින් දුෂ්ටත්වයට පාවා දුන්නේ ය.

ස්වර්ගය, අපායට පාවා දුන්නේ ය. කෙම්බිම, වියලි වැලිකතරට පාවා දුන්නේ ය. පරවියා උකුස්සාට පාවා දුන්නේ ය. මුව පැටියා කොටියාට පාවා දුන්නේ ය. සා පැටියා වෘකයාට පාවා දුන්නේ ය. කුරුලු පිහාටුව, වලස් නියකට පාවා දුන්නේ ය. සඳ වතුර ලෝ දියට පාවා දුන්නේ ය. පිනි බිංදුව, ගිනි පුපුරට පාවා දුන්නේ ය. ජීවිතය මරණයට පාවා දුන්නේ ය.

එසේ ම අන්තිමේ දී ශවේන්ද්‍ර ද සිල්වා අන්තර් ජාතික ද්‍රෝහීන්ට පාවා දුන්නේ ය. 58 වැනි සේනාංකය දුෂ්ට බලවේගවලට පාවා දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ කුමන්ත්‍රණකාරයින්ට පාවා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය අන්තර්ජාතික දුෂ්ටයින්ට පාවා දුන්නේ ය.

කීර්ති විජේබාහු, වළගම්බා, මහා පරාක්‍රමබාහු, දුටුගැමුණු ආදි නර විරුවන් විසින් ගොඩනඟන ලද ශ්‍රී ලාංකේය අභිමානය, අන්තර්ජාතික කැන හිලුන්ට පාවා දුන්නේ ය.

දැන් මේ කුමන්ත්‍රණකාරයෝ ගෝඨාභයගේ කරට කුරුසියක් තැබීමට සැලසුම් කරති. ඒ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා තම බුද්ධිය සහ ප්‍රඥාව යොදා ගනිමින් සියුම් ලෙස මානුෂික මෙහෙයුම සැලසුම් කිරීම පාපයක් වූ නිසාවත් ද?

ශවේන්ද්‍ර ද සිල්වා ගේ කර මතට ද කුරුසියක් පැටවීමට සැලසුම් කරති. ඒ මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් ගමන් කරමින් සටන් බිම පෙරමුණේ සිට සියල්ල මෙහෙයවමින් අනේක දුක් පීඩා විඳිමින් කලපුව කොටු කර ප්‍රභාකරන් නම් වූ ගොරතර පාපතරයා විනාශ කොට අපේ රට බේරා ගැනීම ශාපයක් වූ නිසා වත් ද?

කෑමක් බීමක් නොමැති ව.. වතුර පොදක්වත් නොමැතිව.. දින ගණන් සති ගණන් කටු කොහොල් මැදින් වැස්සට තෙත් බරි වෙමින් අව් කාෂ්ටයට පිළිස්සෙමින්... බූට් සපත්තු තුළ සිරවී ඇති ඇඟිලි තැලී පොඩි වී කුණුවෙන තුරු ඇවිදිමින්... අත් පා අහිමි කරගනිමින් රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ පූජා කරමින්... දරුවන්, මවුපියන්, පෙම්වතියන් අහිමි කර ගනිමින්..., සටන් බිම වෙඩි කා... ජීවිතය ම රටට දෙමින්... මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් පැමිණි 58 වැනි සේනාංකය රණවිරුවන්ගේ කර මතට කුරුසියක බර වැටුණේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී හැතිකරය විනශ කිරීම පාපයක් සහ ශාපයක් වූ නිසාවත් ද?

අපේ රට වෙනුවෙන්... අපේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන්... අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන්... අභිමානය වෙනුවෙන්... කොටින් ම අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා කුරුසියත් කර තබාගෙන අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය වෙත කස පහර කමින් අවලාද අපහාස විඳිමින් ඔවුන්ට ගමන් කරන්නට සිදු වුවහොත් ඔබ කුමක් කරන්නෙහිද? ජනතාවෙනි! ඔබේ හෘදය සාක්ෂියට තට්ටු කරන්න. ඔබේ ආත්මය ස්පර්ශ කරන්න. ඔබේ සංවේදී හදවත මත සිත තබන්න.

“මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුහු ඔබේ ගැලවුම්කාරයෝ ය. ගැලවුම් කාරයන් සහ දුෂ්ටයින් හදුනා ගන්න. එවිට සත්‍යය ජය ගනු ඇත.”

ඔබේ හෘදය සාක්ෂිය, ඔබේ හදවත පමණක් නොව ඔබේ මුළු ආත්මයම ඔබට පවසනු ඇත.

“සත්‍යය ජයගනු ඇත.”

“සත්‍යය මේව ජයතේ”

සටහන - කසුරි


උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27

Tuesday, December 1, 2009

කල්කටා නුවරට ගිය ගමනක්...


ඔන්න කාලෙකින් ටිකක් දිග බ්ලොග් ලිපියක් ලියන්න යන්නේ... පහුගිය ටිකේ කණ ගාවට වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා හරි හමන් යමක් ලියා ගන්න බැරිවුනා.. තාමත් ඉතින් එහෙම තමයි.. අනේ මන්දා මගේ වැඩ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.. මං මැරෙන දවසක තමයි ඉතින්..

මේ මාසේ මුළ මට ඉන්දියාවේ යන්න සිද්ධ වුනා රාජකාරී වැඩ කීපයකට... මේ මං ඉන්දියාවට ගියපු දෙවනි වතාව... මගේ ටුයිටරේයි මූණුපොතෙයි යාළුවො නම් දන්නවා ඉතින් ඒ ගැන... මුල්ම දවස් කීපයේ අපි හිටපු හෝටලයෙන් එළියට බැහැගන්න බැරි තරමට වැඩ තිබුනා... පියර්ලස් ඉන් කියන හෝටලේ දහ වෙනි තට්ටුවේ තමයි කාමරේ තිබ්බේ.. ඔන්න ඔය පල්ලෙහායින් තියෙන්නේ ඒ කාමරේ ජනේලේ ඉඳලා ගත්ත ෆොටෝ එකක්... ඉතින් නොවැම්බර් 9 වෙනිදා තමයි වැඩ වලින් නිදහස් වුනේ... ඊටපස්සේ දවස් කීපය ගත කලේ ම‍ගේ යාළුවෙකුගේ ගෙදරක... ඒ කල්කටා ටවුන් එකේ බාග්බසාර් කියන හරියේ... ඒක තට්ටු නිවාසයක්... ඊට එහා පැත්තේ තිබුනේ සුවිශාල ගංගා නදිය.. ටිකක් කාර්යබහුල පැත්තක් වුනාට හිතට ඇල්ලුවා...




හරිය‍ටම කිව්වොත් මං ගියේ ඉන්දි‍යාවේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයට... කවුරුත් දන්නවා හැබැයි කල්කටා කිව්වාම නම්... ෂාරුක් ඛාන්ලා රාණි මුඛර්ජිලාගේ උපන් ගම් එහෙනේ... දැනට මාස කීපයකට කලින් ‍මේ ප්‍රාන්තයට එහා පැත්තෙ තියෙන රටටත් මට යන්න අවස්ථාවක් ලැබුනා.. ඒ බංගලාදේශය.. ඉස්සර, ඒ කිව්වේ 1947 අගෝස්තු වල තමයි ඉන්දියාවයි පාකිස්ථානයයි නිදහස් රටවල් දෙකක් බවට පත්‍වුනේ.. ඒත් ඒ වෙනකොට බංගලාදේශය කියලා වෙනම නිදහස් රටක් තිබ්ලා නෑ.. බංගලාදේශයට එදා කියලා තියෙන්නේ නැගෙනහිර පාකිස්ථානය කියලා.. 1971 දෙසැම්බර් 16 වෙනිදා තමයි බංගලාදේශය නිදහස් රටක් විදිහට වෙන්වෙලා තියෙන්නේ.. ඉතින් බංගලාදේශයයි ඉන්දියාවයි වෙන්වෙන්නේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයෙන්.. මේ ප්‍රාන්තයේ අගනුවර තමයි කල්කටාව කියන්නේ.. ඇත්තටම කල්කටාව කියන්නේ ඉංග්‍රීසි පාලන සමයේ ඒ කියන්නේ 1947ට පෙර තිබුනු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රධානතම බලකොටුව... ගංගා නදිය මුහුදට එකතුවෙන්නෙත් මෙන්න මේ කල්කටා නුවරින්... කල්කටා වල තියෙනවා වික්ටෝරියා අනුස්මරණ ශාලාව කියලා එකක්.. ඒක ටිකක් විතර ට‍ජ්මහල් වගේ.. එන්ගලන්තේ වික්ටෝරියා රැජිණ අනුස්මරණයට 1906 දී රැජිණගේ මුණුපුරා වන වේල්ස් කුමාරයා විසින් තමයි මේ අනුස්මරණ ශාලාව හදන්න මුල්ගල තියලා තියෙන්නේ.. 1921 දී තමයි මහජනතාවට විවෘත කරලා තියෙන්නේ කොහොමහරි.. හරිම ලස්සන තැනක්... ඔන්න පල්ලෙහා තියෙනවා ෆොටෝ ටිකක් බලන්න... කල්කටාවට ගියොත් වික්ටෝරියා අනුස්මරණ ශාලාව බලන්නත් අමතක කරන්න එපා ඔන්න...




ඊළඟ දවසේ අපි ගියා කල්කටා කටුගෙයට... අපේ කටුගේ හැඩයම තමයි... ඒ වුනාට ටවුන් එක මැද තියෙන නිසා ටිකක් කලබලකාරී... මේකේ ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නෑ.. ඒ වුනාට මං ෆෝටෝ කීපයක් ගත්තා... :) මං දැක්ක විශේෂතම දේ තමයි ඇත්ත ඊජිප්තු මමියක් බලාගන්න පුළුවන් වෙච්ච එක.. ඒත් ෆෝටෝ එකක් නම් ගන්න බැරිවුනා...




එදාම අපි ගියා කල්කටා වල තියෙන ග්‍රහලෝකාගාරයට.. මං ලංකාවේ එකටවත් තාම ගිහිල්ලා නෑ.. (ලැජ්ජාවේ බෑ) ඒ වුනාට වෙලාවට මේ ග්‍රහලෝකාගාරය බලාගන්න ලැබුනා... හින්දි බෙංගාලි ඉංග්‍රිසී භාෂා වලින් දර්ශණ වාර පවත්වනවා... අපි ගියපු වෙලාවේ වාසනාවට වගේ ඉංග්‍රීසි දර්ශණය තිබ්බේ... මේ ග්‍රහලෝකාගාරය ආසියාවේ විශාලතම ග්‍රහලෝකාගාරය කියලා විස්තර දැනගන්න ලැබුනා... මෙන්න මෙතනින් එම්. පී. බිර්ලා ග්‍රහලෝකාගාරය ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්...


මේ තියෙන්නේ එම්. පී. බිර්ලා ග්‍රහලෝකාගාරය

ආහ් මට කියන්න අමතක වුනා... අපි මුල් දවස් කීපය හිටපු හෝටලය තියෙන්නේ කල්කටා වල සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වන ඊඩන් ගාඩ්න් ආසන්නයේ.. මං දවසක් රෑ කෑමට හෝටලේ භෝජනාගාරයට යද්දී දැකල පුරුදු කෙනෙක් මුණ ගැහුණා... ඒ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ඊර්ෆාන් පතන්... එයාගේ අයියා යූසුෆ් පතනුත් මං එන්න ටිකකට කලින් ඇවිත් තියෙනවා... ඊර්ෆාන්ගේ නංගියි පෙම්වතියයි එක්ක තමයි ඇවිත් හිටියේ.. මං ටිකක් වෙලා කථා කරලා අතේ තිබ්බ ෆොන් එකෙන් ෆොටෝ එකකුත් ගත්තා... කියන්න බලන්න කවුද වැඩියෙන්ම ගති කියලා.. ? :)


අර ඈතින් ‍කණු 4ක් පේන්නේ ඊඩ්න් ගාඩ්න් (Eden Garden) ක්‍රීඩා පිටිය...



කවුද handsome ? :D


ඔන්න අවසාන දවස් කීපයේ ටිකක් නගරයෙන් ඈතට යන්න හිතුවා.. ‍ගොඩක් අය දන්න කියන රබින්ද්‍රනාත් තාගෝර් මැතිතුමාගේ ශාන්ති නිකේතන් වලට තමයි ඊළඟට ගියේ... කලින් ඉඳලා සැලසුම් කරගෙන හිටිපු නිසා දවස් දෙකක් ඉන්න බලාගෙන ගියා... මගේ යාළු මිතුරිය ශාන්ති නිකේතන් අවටින් නිස්කලංක නවාතැනකුත් කථාකරලා තිබුන නිසා ලේසි වුනා... කල්කටා නගරයේ ඉඳලා කිලෝ මීටර් 250ක් විතර ඈතින් තියෙන බෝල්පූ‍ර් කියන ප්‍රදේශයේ තමයි ශාන්ති ‍නිකේතන් පිහිටලා තියෙන්නේ... ‍හැමෝම දන්නවා ඇති නේද ශාන්ති නිකේතන් කියන්නේ එක්තරා විදිහක විශ්ව විද්‍යාලයක් කියලා... සාහිත්‍ය කලා විශයන් වලට තමයි මේ විශ්ව විද්‍යාලය ප්‍රසිද්ධ... රබින්ද්‍රනාත් තාගෝර් තුමා 1913 දී තමයි මේක විශ්ව විද්‍යාලයක් විදිහට පටන් අරන් තියෙන්නේ.. ඉන්දිරා ගාන්ධී, සත්‍යජිත් රායි වගේ දැවන්තයින් මේ සරසවියෙන් තමයි ඉගෙනුම ලබලා තියෙන්නේ... දැනටත් රටවල් ගණනාවකින් ආපු සිසු සිසුවියෝ මෙහෙ අධ්‍යාපනය ලබනවා..


ශාන්ති නිකේතන් සරසවියට ඇතුළුවීම...



රබින්ද්‍රනාත් තාගෝර් මැතුතුමාගේ පිළිරුවක්...



ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි



ශාන්ති ‍නිකේතන් ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට...


සරසවි භූමියේ ඇති කලා නිර්මාණයක්...


ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි...

අපි ටිකක් මේ සරසවි භූමියේ ඇවිදිද්දී අපිට හම්බුනා ගැමි ගී කිය කිය ඇවිදින මිනිස්සු දෙන්නෙක්.. කෙලින්ම සල්ලි ඉල්ලන්නේ නැතිව ගීත කියලා ජීවත්වෙන ශ්‍රම‍ණයෝ වගේ පිරිසක්... අමුතුම ලස්සනකුත් හරිම සමීප බවකුත් ඒ කියපු ගීත වලින් මට දැනුනා.. ටික ටික හවස් වෙලා කළුවර වැටෙනකම්ම අපි ශාන්ති නිකේතන් සරසවියේ ඇවිද්දා...


ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...

ඊළඟ දවසේ අපි ගියා ටිකක් ෂොපින් පාරක් දාන්න.. ඒ බෝල්පූර් ප්‍රදේශයේම හදන බඩු භාණ්ඩ කීපයක් මිළදී ගත්තා.. හරි ලස්සන බෑග් කීපයක්ම ගත්තා යාළුවොන්ට බෙදන්න... දැන්නම් ඉලන්න එපා ඔන්න... :) ඒවායේ කෑලිත් නෑ දැන්... ආහ් මෙතනදිත් අර වගේ සින්දු කියන ශ්‍රමණයෝ හමුවුනා... ගීත 3ක් 4ක් අපි ඇහුවා.. ග්‍රාමීය බෙංගාලි භාෂාවෙන් තමයි මේ ගී පද ගැයුනේ.. ඒ ගීතත් අහලා අපි ආයෙත් කල්කටා වලට යන්න පිටත් වුනා... හවස් වෙද්දී කල්කටා වලට ඇවිත් සංගීත භාණ්ඩ විකුණන පරණ කඩේකට ගියා.. එතනින් මගේ ඉන්දියානු මිතුරිය මට සංගීත භාණ්ඩයක් තෑග්ගක් විදිහට අරං දුන්නා.. පල්ලෙහා තියෙනවා ඒ ෆොටෝ එකත්... ඉතින් ඊළඟ දවසේ අපි ආපහු ගමරට බලා ආවා...


තවත් ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...



මේ නම් ඉන්නේ ගී කියන ශ්‍රමණයෙක් නෙමෙයි ඔන්න.. :)



ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...


සංගීත භාණ්ඩ සාප්පුවේදී...


ලැබුණු තෑග්ගක්...

කල්කටා වල ඉඳලා ලංකාවට ඍජු ගුවන් සේවා නැති හින්දා චෙන්නායි හරහා තමයි යන්න වුනේ.. චෙන්නායි වලත් ඉතින් පොඩ්ඩක් රවුම් ගැහුවා... කියන්න තරම් දෙයක් නෑ ඉතින්... ෂොපින් තමයි අතේ සතේ හි‍ඳෙනකම්... :)


කල්කටා නුවරට ඉහළින්...



වළාකුළු වලටත් උඩින්...

Thursday, November 26, 2009

සුනිල් එදිරිසිංහ Vs. සරත් ෆොන්සේකා






කාලයක් තිස්සේ මගේ හිත කොනිත්තපු සින්දුවක් ගැන ලියන්න හිතුනා.. පහුගිය දවස් කීපයේ පුදුම විදිහට වැඩ ගොඩ ගැහිලා තිබුනා.. තාමත් ඒ විදිහමයි.. ඒත් කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්න බැරි වුන දුකට අද මේ සින්දුව ගැන මගේ හිත කියන දේ ලියනවා...

ගොඩක් අය විරහා වේදනාව හොඳින් විඳලා ඇති... විරහාවේ රහා හොඳට දන්නවා ඇති... ඉතින් ඒ වගේ බූට් එකක් නෙමේ "ඩෙක් ෂූ" එකක් කාපු මනුස්සයෙක් වෙන්ඩ ඇති මේ සින්දුව ලියන්න ඇත්තේ... "වියෝවූ පසුවයි දැනෙන්නේ, ප්‍රේමයේ අභිමන්.." කියලා මේ මනුස්සයාට මුලින්ම කියවෙන්ඩ ඇත්තේ ඒ හින්දා වෙන්ඩ ඇති... කෙල්ල ඉන්නකම්ම නොදැනිච්ච "දැනිල්ල" දාල ගියාට පස්සෙ දැනිලා තියෙනවා.. අපි හැමෝටම ඔය කාරණේ නම් ඉතින් පොදුයි.. හැම මඟුලම ළඟ තියෙනකං අගයක් නෑනේ.. නැතිවුන දවසට තමයි හොක්ක බිම ඇණගෙන ඉන්නේ...

ඔන්න අපේ සරත් ෆොන්සේකා මහත්තයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි ජනාධිපතිවරණෙ ඉවර වුනාට පස්සේ... මේ සින්දුවේ දෙවෙනි කොටසෙන් ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා.. "ඉවුරු දෑලේ හිඳ බැලූවිට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගඟුලම බිහිසුනුයි චන්ඩයි" කියලා කියන්නේ ඒක තමා... ෆොන්සේකා මහත්තයාට තාම ග‍ඟේ සැර දැනෙන්නේ නෑ.. බැස්සාම තේරෙයි අමාරුව.... හා.. හා.. දේසපාලනේ ගාවා ගන්ඩ එපා ලව් ටෝක්ස් වලට... අනේ හෆොයි.. ආවේ සින්දුවක් කියන්ඩ දැන් මේ භූතයා දේසපාලන කථාවක් කියනවා..

ප.ලි. - මාතෘකාව දැම්මේ ලිව්වට පස්සේ... :D

Tuesday, October 27, 2009

මුහුද... වෙරළ... හා අහස...




පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුනා මගේ මේ රාජකාරී මැද්දේ... ඔළුවේ තියෙන ආතතිය යන්නත් එක්ක තමයි මේ ලිපිය ලියන්නේ... පහුගිය මගේ ලිපි වලින් දකින්න ඇති මං ආගිය දිහා... වැඩිපුරම රටේ වාටියට ලං කරලා තමයි ගියේ.. ඇත්තටම කිව්වොත් අපේ මේ පුංචි ලංකාවට ලස්සන වාටියක් මහලා තියෙනවා.. ඒක හැඩ වැඩ දාපු, මල් මෝස්තර දාපු, බීක්කු කපපු, පාට පාට වාටියක් තමයි.. ඒ තමයි අපේ ලංකාව වටේට තියෙන සුන්දර මුහුදු තීරය...

මගේ ජීවිතේ මං ආසම තැන් දෙකක් තමයි මුහුදු වෙරළ හා අහස කියන්නේ... මට මුළු ලෝකෙම වුනත් අමතක කරන්න පුළුවන් ඒ තැන් දෙක පේන තැනකට ගියපු වෙලාවට... මුහුදු වෙරළක් ළඟට ගියපුවාම වෙරළයි අහසයි දෙකම බලාගන්න පුළුවන්.. ඒ වගේම අහස මුහුදේ ගිලෙන හැටිත් අපට පේනවා... එත් ලෝකේ ලොකුම බොරුවත් ඒකයි කියලයි මට නම් හිතෙන්නේ.. ඒ කිව්වේ අපිට ඇත්තටම එතන පේන්නේ මායාවක්නේ... අපි ජීවිතේ වැඩිපුරම ආසා කරන්නේ අපට ලබාගන්න බැරිදේවල් වලට... ළඟ තියෙන දේට අපේ වැඩිපුර ආසාවක් නෑ... අපට ලබාගන්න අමාරු මායාවන්ට තමයි අපි ආසාවෙන් බැ‍ඳෙන්නේ... හරි හරි පිලොසොපි පාරවල් දාන්න ඕනේ නෑ.. :) කියන්න ගියපු දේ කියලා ඉමුකෝ..

මට ගිය සතියේ පුත්තලමේ යන්න රාජකාරියක් යෙදුනා.. ඊටත් කලිං සතියේ නැගෙනහිර පළාතට ගියා.. (ඒ ගැන තිබ්බ ලිපිය කියවන්න ඇතිනේ..) මේ සතියේ වාද්දූවේ ගියා... හැබැයි වැඩකට නෙමෙයි, වැඩක් ඉවර වෙලා නවතින්න... ඉතින් පුත්තලමේ වැඩි වෙලාවක් ඉන්න නම් ලැබුනේ නෑ.. ඒත් පුත්තලම් කලපුවේ දර්ශණ කීපයක් ගන්න අවස්ථාවක් ලැබුනා.. පුත්තලම නගරාසන්නයේ නිසා ටිකක් විතර ඒ හරිය නම් අපිරිසිදුයි.. වාද්දූවේ ගියේ රෑ නවතින්න.. හවස 6.00 විතර වෙද්දී වාද්දූව හොලිඩේ රෙසෝට් කියන තැනට ගියා.. මං නම් මීට කලින් ගොඩක් වාරයක් මෙතනට ඇවිත් ගිහිං තියෙනවා.. ඒත් මේ පාර ටිකක් කලිං එන්න පුළුවන් වුන නිසා මට හිතුනා ජායාරූප ටිකක් ගන්න.. වාහනෙන් බැහැපු ගමං දූවලා ගියා වෙරළට... ඉර නම් බැහැලා ගිහිං.. ඒත් එළිය තිබ්බා.. මගේ k750i කැමරා දුරකථනයත් දිගෑරගෙන දිගට හරහට ඡායාරූප ගත්තා.. වෙරළත් අහසත් මුහු වුනාම පුදුම ලස්සනක් තියෙන්නේ.. ඒ වෙලාවට හැදෙන එක එක පාට නිපොලැක් කලර් කාඩ් එකේවත් නෑ... ඒ විදිහටම තියෙනවා නම් පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන්... ඒත් හොඳ දේ ටිකයි කියලා කථාවක් තියෙනවානේ, ඉතින් ඒ විදිහටම ඉර හොඳට බැහැලා ගිහින් අන්ධකාර වුනාට පස්සේ මං ආවා.. නැතුව ඉතින් ටෝච් ගහලා පො‍‍ටෝ ගන්ඩයැ... නේද ?

ආහ් අද (27/10/2009) විශේෂ දෙයක් සිද්ධ වුනා.. අපේ ‍ජ්‍යෙෂ්ඨ බ්ලොග්කරුවෙක් වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ‍සහෝදරයා කොළඹ නගර සභා ශාලාව ඉදිරිපිට බස්නැවතුම්පළ ළඟින් අහම්බෙන් මුණගැසුනා...

පුත්තලම් කලපුවේ දර්ශණ කීපයක්






මේ පහළින් තියෙන්නේ වාහනේ යන ගමන් මොරටුව හරියෙදී ගත්ත දර්ශණ කීපයක්...






වාද්දූව මුහුදු වෙරළ හා අවට













Sunday, October 18, 2009

සුන්දර නැගෙනහිරට ගිය ගමනක්...


බ්ලොගේ ලියන්න ගොඩක් දේවල් තිබුනත් වෙලාවක් කලාවක් හොයා ගන්න බැරුව ලත වෙ‍වී හි‍ටියේ.. මගේ මූණූපොතේ හා ටුයි‍ටරේ ඉන්න යාළුවෝ නම් දන්නවා මං මේ දවස් වල ආගිය දිහා.. ඉතින් මේ සතියේ මුල රාජකාරි වැඩකට මට නැගෙනහිර පළාත බලා යන්ඩ සිද්ධවුනා.. අපේ යා‍ළුවෝ නම් ගොඩක් ත්‍රීකුණාමලේ එහෙමනම් ගිහින් ඇති.. ඒත් මඩකලපුවේ අම්පාරේ පැත්තේ එහෙම ගිහින් නැතුව ඇති... මගේ වාසනාවට ඔන්න දැන් දැන් රාජකාරීමය වශයෙන් හෝ මට ඒ පැත්තට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා... ‍නුවන්ස් ලේන් අයියා නම් යාපනේ ළඟදී ගිහින් තියෙනවා දැක්කා.. මටත් ඒ පැත්තට යන්න ලැබෙයි ළඟදීම.. බලමුකෝ...

ඔන්න ඉතින් අපි ගියේ අනුරාධපුරෙන් මරදන්කඩවල පාරට දාලා... එතනින් හබරණ හරහා පොළොන්නරුවට ගිහින් මනම්පිටිය හන්දියෙන් මඩකලපු පාරට දාලා කෙලින්ම ගියා... මේ මනම්පි‍ටි‍යේ රේල්පාරයි තාරපාරයි දෙකම එකට තිබ්බ පාලමක් තිබ්බා.. කෝච්චිය එනකොට සාමාන්‍ය වාහන වලට පාලම වහනවා.. ඉතින් මේක කරදර වැඩක් හින්දා දැනට අවුරුදු දෙකකට විතර කලින් මෙතන අළුත් පාලමක් හැදුවා වෙනමම සාමාන්‍ය වාහන වලට ගමන් කරන්න... මහවැලි ගඟ තමයි මේ පාළම යටින් යන්නේ... ඒ වගේම පුදුම ලස්සනට පාරවල් ටික හදලා තියෙනවා.. ඇත්තටම ඒකනම් මාර වටිනවා.. අනික මේ පාරවල් හරි කෙලින් තියෙන්නේ වංගු බංගු අඩුයි... අඩිරූලක් ගහලා හදලා වගේ... ඔන්න මං පොටෝ ටිකක් දාලා තියෙනවා වාහනේ යන ගමන් ගත්තු.. හැබැයි පුදුම රස්නයක් එළියේ තිබ්බේ.. වාහනේ ඒ.සී. දාගෙන යන නිසා බේරුනා.. :) ආ අපි මේ පාර දිගේ යද්දී තොප්පිගල කන්දත් දැක්කා.. ඔන්න පල්ලෙහා තියෙනවා...

මේ මනම්පිටියේ අළුත් පාළම...



එහා පැත්තෙන් තියෙන්නේ රේල් පාර.. පල්ලෙහායින් යන්නේ මහවැලි ගඟ...



තෙරක් නොපෙනෙන පාරවල්...


තොප්පිගල ඈතින් තියෙනවා.. මේකේ පේනවද දන්නේ නෑ..


ඊළඟට අපි වාකරේ හන්දියට ආවා... එතනින් හැරිලා තමයි මඩකලපුවට යන්න ඕනේ.. ගොඩක් අය වාකරේ එහෙම දන්නවා ඇතිනේ... ඉතින් එතනින් හැරිලා ගියාම මුලින්ම හම්බෙන්නේ වාලච්චේන නගරය... ගොඩක් අයට මතක ඇති සමාජ අධ්‍යයනය එහෙම ඉගෙන ගත්ත දවස් වල අපිට කියලා දෙනවා ලංකාවේ ලොකුම කඩදාසි කම්හල තියෙන්නේ එහේ කියලා.. ඉතින් ඔන්න ඒ නගරෙත් පහු කරං යනකොට කල්කුඩා, පාසිකුඩා වලට හැරෙන හන්දිය හම්බුනා.. අපි එහේ යන්න හිතාගෙන ගියේ නැති වුනාට මගේ පෙ‍රැත්තය නිසාම අපි පාසිකුඩා මුහුදු වෙරළ බලන්න ගියා... මෙතන හන්දියේ ඉඳන් කිමි 5ක් විතර යන්න තියෙන්නේ... යුද්ධයෙන් නටඹුන් වුන ගොඩනැගිලි තියෙනවා මේ හැම තැනකම වගේ.. ඇත්තටම මං දැක්ක ලස්සනම මුහුදු වෙරළක් තමයි පාසිකුඩා කියන්නේ... නොගැඹුරු අපවිත්‍ර නොවුනු ලස්සන නිල් පාට මුහුදු වෙරළක් මේක... අපි එතන පැයක් විතර හිටියා... පැනලා නාන්න ආස හිතුනත් වැ‍ඩේ කරගන්න බැරිවුනා... :) ඔන්න තියෙනවා එතනදිත් ගත්ත පොටෝ කීපයක්...

පාසිකුඩා වලට හැරෙන හන්දිය...



මේ ඉන්නේ පාසිකුඩා වෙරළේ.. මේ නම් මං නෙමේ... :)



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...



සුන්දර පාසිකුඩා නොගැඹුරු මුහුදු තීරය...


ඊටපස්සේ අපි මඩකලපුව බලා ආයෙත් ගමන පටන් ගත්තා.. චෙන්කලඩි කියන ගමත් ගොඩක් අය අහලා ඇති... යුද්දේ තියෙන දවස් වල මේ පැත්ත ගැන ගොඩක් කිව්වා... දැන් නම් කලබලයක් නැති පාටයි.. ඒ වුනාට යුද්ධයේ නශ්ඨාවශේෂ තාම තියෙනවා.. ඒ වගේම හැම තැනම කෑම්ප්... චෙක් පොයින්ට් තිබ්බාට අපිව නම් වැඩිය නැවැත්තුවේ නෑ.. චෙන්කලඩි ඉඳලා කිමි 40ක් විතර යන්න තියෙනවා මඩකලපුවට... ඉතින් ඒ ටිකත් ඕං ගියා... යන අතරමගදී පල්ලෙහා දාලා තියෙන පින්තූර වල වගේ මිනිස්සු බයිසිකල් වලට දර පටවාගෙන යනවා දැක්කා.. මං ජීවිතේ පළමුවෙනි වතාවට තමයි මෙහෙම දර ගෙනියනවා දැක්කේ.. හරිම ඵලදායී ක්‍රමයක් වගේ.. දර සෑහෙන ප්‍රමාණයක් මේ විදිහට අරං යන්න පුළුවන් වගේ...





මඩකලපුව කියන්නේ මඩ කලපුවටලු... :) ඒ කියන්නේ මඩ තියෙන කලපුවටලු... :) ඒ කලපුව තමයි මේ තියෙන්නේ...



අපි අපේ නවාතැනට ළඟා වෙද්දී ටිකක් හවස් වුනා.. අපේ හිතවත් සංවිධානයකින් තමයි අපිට නවාතැන් දුන්නේ.. තැන නම් හොඳයි ඒත් ටිකක් විතර රස්නෙයි.. හැබැයි අපි ආපු දවසේම රෑ හොඳට වැස්සා... දන්නවනේ ඉතින් අපි වගේ වාසනාවන්ත උදවිය ඇව්ල්ලා ගියත් ඇති... :) ඊළඟ දවසේ අපිට මඩකලපුවේ කච්චේරියේ රැස්වීම් කීපයක් තිබ්බා... ආහ් මඩකලපුවේ කච්චේරිය ගැනත් කියන්න ඕනේ... ඒක තනිකර සුද්දොන්ගෙ කාලේ තිබ්බ බලකොටුවක්.. වටේම ගාල්ලේ වගේ ගල් තාප්පයකින් වට වෙලා තියෙන්නේ... හරි ලස්සන තැනක පරණ විදිහටම තියෙනවා.. ආහ් මඩකලපුවේ ටවුමේ ලොකු තොරණක් වගේ එකක ගහලා තියෙනවා දැක්කා මෙහෙම වැකියක්.. "Welcome to the City of Singing Fish" කියලා.. මේ නම ගොඩාක් මේ පැත්තට ප්‍රසිද්ධයි... සින්දු කියන මාළුවෝ ඉන්න නගරය කියලා සුද්දෝ කියලා තියෙනවාලු ඒ කාලේ.. ඉතින් අපේ වැඩේ ඉවර කරගෙන ඊළඟ රැස්වීමට අපි අම්පාර බලා පිටත් වුනා... එතකොට තියෙනවා කවුරුත් දන්න කියන පාළමක් හරහා යන්න... ඒ තමයි "කල්ලඩි පාළම"... ගුණදාස කපුගේ "කල්ලඩි පාළම පාමුල සින්දු කියන මාළුවෝ" කියලා කියන්නේ මෙන්න මෙතනට තමයි... මේ පල්ලෙහා තියෙන පින්තූරෙන් බලාගන්න පුළුවන් ඒ පාළම... හැබැයි මේ දවස් වල අළුත් පාලමකුත් හදනවා මීට එහා පැත්තෙන්... ආහ් තව දෙයක් කියන්න ඕනේ.. ලංකාවේ කල්ලඩි කියලා නගර දෙකක් විතර මං දන්න විදිහට තියෙනවා.. දෙකේම පාළම් තියෙනවා... එකක් තමයි මේ මඩකලපු එක... ඒක තමයි ගුණදාස කපු‍ගේ මහත්තයාගේ සින්දුවෙන් කියන්නේ.. අනික් එක තියෙන්නේ පුත්තලම කල්පිටියේ.. පුත්තලමයි කල්පිටියයි යා කරන්නේ මේ කල්අඩි පාළමෙන්.. මං නම් මේ තැන් දෙකටම ගිහින් තියෙනවා...


කල්ලඩි පාලම.........


මඩකලපුවේ ගොඩක් ඉන්නේ මුස්ලිම් දෙමළ අය... හැබැයි මෙහේ මුස්ලිම් අයට වැඩි පිළිගැනීමක් නෑලු.. තිහාරිය පැත්තේ ඉන්න මගේ යාළුවෙක් කිව්වේ මඩකලපු මුස්ලිම් අය අඩු කුලේ අයලු.. ඒගොල්ලෝ මඩකලපු මුස්ලිම් අයට කියන්නේ "මට්ටයෝ" කියලා... ඉතින් ඒ වුනාට මඩකලපුව ප්‍රසිද්ධ වෙලා තියෙනවා කෑම බීම කීපයකට... ඒ අතරින් කොත්තු රොටී තමයි මුල් තැනට ඒන්නේ... කොත්තු රොටී ලංකාවේ මුලින්ම පටන් ගත්තෙත් මඩකලපුවේ කියලා මං අහලා තියෙනවා.. ඒ වගේම මඩකලපු සරුවත් ගැනත් ගොඩක් අය දන්නවා.. ලංකාවේ හොඳම සරුවත් තියෙන්නේ මඩකලපුවේලු.. ඉතින් මං අතෑරියේ නෑ, ගැහුවා මඩකලපු සරුවත් එකක්.. ෂා මරු පානය.. එළකිරි, ජෙලි, දෙඩම් යුෂ, කලරින්, අයිස්කැට, කසකසා අයිස්ක්‍රීම් කියන ඒවා ඔක්කොම දාලා තමයි හදන්නේ.. සරුවත් බීව්වට මට මඩකලපු කොත්තු නම් කන්න බැරිවුනා... ලබන පාරවත් බලමු...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



ඔන්න ඔය විදිහට මඩකලපු දිස්ත්‍රික්කයෙන් අපි අම්පාර බලා යන්න පිටත් වුනා... කාත්තන්කුඩි, අරයම්පති, පෙරියකල්ලාර්, කල්මුනේ පහුකරගෙන අපි අම්පාර දිස්ත්‍රික්කයට ටික ටික ළඟා වුනා... කරෙයිතිව් හන්දිය ටිකක් වැදගත් තැනක්.. මෙතනින් තමයි ආරුගම් බේ, අක්කරෙයිපත්තු වලට හා සමන්තුරෛ අම්පාර පැත්තට හරවන්නේ... මේ හන්දියෙන් කෙලින්ම ගියොත් ආරුගම් බේ පැත්තට යන්න පුළුවන්.. දකුණට දැම්මොත් සමන්තුරෛ, අම්පාර පැත්තට යන්න පුළුවන්.. මේ හරියෙ නම් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් අය... සමන්තුරෛ ඉඳලා කිමි 35ක් විතර පහුකලාම අම්පාරට ළඟා වෙන්න පුළුවන්... ඔන්න ඉතින් අපි එහෙටත් ආවා... මේ පැත්තේ පේන තෙක් මානෙට කුඹුරු... එක යායට ලියදි... මහා විශාල ප්‍රමාණයේ ඒවා.. හැබැයි තාම වතුර නැති නිසා කුඹුරු වගා කරලා නෑ.. හරිම කාෂ්ටකේ.. හැබැයි වැස්සක් දෙකක් විතර ගියාට පස්සේ හොඳ ලස්සනට එයි...

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...


අම්පාරේ කච්චේරියෙත් රැස්වීමක් තිබ්බා.. එකත් ඉවර වෙලා අපි ගියා ඉඟිනියාගලට.. අපේ බොසාගේ නෑයෙක්ගේ ගෙදරකට... එහේ ගිහින් වැව් මාළු බැදලා බත් කාලා අපි ආයෙත් අනුරාධපුරේ බලා පිටත් වුනා.. ඒ අතරමගදී නාමල්ඔය ජලාශය හරහා ගල්ඔය රක්ෂීතය පහුකරගෙන තමයි ගියේ.. ඕං පල්ලෙහා තියෙනවා ඒවායේ පො‍ටෝ කීපයක්... තව දවස් කීපයක් ඉන්න හිතාගෙන ආවත් වැඩ අධික නිසා අපිට ඉක්මනින් එන්න සිද්ධ වුනා..

From Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



අම්පාරෙන් බිබිලෙට ඇවිත් බිබිලෙන් මහියංගනය හරහා දෙහිඅත්තකණ්ඩිය පාරේ දිඹුලාගල හරහා අර කලින් කියපු මනම්පිටිය හන්දියට ඇවිත් පො‍ළොන්නරුව හරහා සුපුරුදු පාරේ අනුරාධපුරේට සැපත් වුනා... මේ ගමනේදී අපි පළාත් 03ක් හරහා ගිහින් තියෙනවා... ඒ උතුරු මැද, නැගෙනහිර, ඌව කියන පලාත්... එතකොට දිස්ත්‍රික්ක 05ක් හරහා ගිහින් තියෙනවා... ඒ අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල කියන දිස්ත්‍රික්ක...

ඉතින් අපි දවස් දෙකක් ඇතුළත තමයි මේ ගමන ගිහින් තියෙන්නේ.. මේ වගේ ගමන් මං ගොඩක් ගියත් ලියන්න කියන්න වෙලාවක් නැති නිසා මගහැරෙනවා.. හැබැයි පුළු පුළුවන් වෙලාවට ලියනවා... එහෙනම් ගිහින් එන්නම්.. ජය සිරි මා බෝ සමිදු පිහිටයි...




 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009