Monday, August 24, 2009
ආකාස කුසුම් පිපිලා... Akasa Kusum...
පහුගිය සෙනසුරාදා පුදුම කම්මැලිකමක් ගැහුවා... කිසිම වැඩක් කරන්න හිතුනේ නෑ..
වැඩක් කරන්න පටන් ගද්දී මාරම කම්මැලිකමක් ගහනවා.. වෙනසකටත් එක්ක ගියා මං ආකාස කුසුම් බලන්න.. කම්මැලිකම ඇරගන්න කියලම නෙමේ, කොහොමත් ඒක එනකම් මග බලන් හිටපු නිසා ගියේ...
ඇත්තටම කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටියක්... මාලනී ෆොන්සේකාගේ සම්භාව්‍ය රංගනය දැන් තමයි ඇත්තටම බලන්න පුළුවන්... ආකාස කුසුම් කියන්නේ මහා ගැඹුරු කථාවකුත් නෙමෙයි.. ඒ වුනාට විඳින්න පුළුවන් යමක් තිබ්බා කියලා දැනෙනවා.. මාලනී ෆොන්සේකාගේ ඇත්ත ජීවිතේට පොඩි හෝ සම්බන්ධයක් තියෙනවාද කියලත් හිතුනා.. ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ප්‍රසන්න විතානගේ අපූරුවට කථාව ගොඩනගලා තිබ්බා...
මීට කලින් ජුලියා චිත්‍රපටියත් මං බලලා තිබ්බත් ඒක ගැන ලියන්න හිත අදිමදි කලා..
හැබැයි ගොඩක් අය ඒකේ අඩු පාඩු කිය කියා බැනලා තිබ්බාත් මට නම් ඒ තිර රචනේ අඩුපාඩු තිබ්බා මිසක් කැමරාකරණය, සංස්කරණය, රංගනය වැනි දේවල් සෑහෙන මට්ටමක තියෙන බව පෙනුනා..
ඒ වුනාට ආකාස කුසුම් ළඟින්වත් ජුලියා තියන්න බෑ... හැමෝම ආකාස කුසුම් බලන්න.. ලංකාවේ චිත්‍රපටි කලාවට ලෝකේ තැනක් තියෙයි කියලා දැන් දැන් දැනෙනවා වගේ...
ලැපට අළුත් හමක්.. Laptop Skin..
ඉතින් ඕං අද ලියන්න හිතුනා මගේ ලැපට දාපු අළුත් වැඩක් ගැන කියන්න.. කව්රුහරි අහලා තියෙනවාද ලැප්ටොප් ස්කින් ගැන ? මං මේක ගැන ටිකක් විතර උනන්දු වෙන්න පටන් ගත්තේ මගේ ලැප් එකේ පිට ටිකක් හීරිලා තිබුනා නිසයි.. ඒ වගේම මං දැක්කා ලැප්ටොප්.එල්කේ අඩවියේ මේවාගේ ලැප්ටොප් ස්කින් වල ගණන් මිණුම් ගැන දාලා තියෙනවා.. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා..
ලැප්ටොප් ස්කින් කිව්වට මහ දෙයක් නෑ ඒකේ.. ලස්සනට ප්‍රින්ට් කරපු නිකන් ස්ටිකර් එකක් විතරයි.. ඒ වුනාට ගති අපේ වගේ හීරිච්ච ලැප්ටොප් වලට.. :) ලංකාවේ මේ වගේ ස්කින් එකක් රුපියල් 1750ක් විතර වෙනවා කියලා තමයි දැන ගන්න ලැබුනේ.. ළඟදී බැංකොක් ගියපු වතාවේ එහේ ගණන් බලපුවාම මාරම ලාබයි.. එක ස්කින් එකක් බාත් 100ක් විතර තමයි වෙන්නේ.. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 330ක් විතර.. මාත් ඉතින් ගත්තා පැනලා.. (ආහ් ඒ කඩේ ලස්සන කෙල්ලෙක් හිටියා.. පොඩි පැණි ටෝක් එකකුත් දුන්නා :) ) ඕක ගෙනල්ලා සති දෙකකට විතර පස්සෙ තමයි මගේ ලැප් එකට ඇලව්වේ.. ලැප් එකේ ප්‍රමාණයට ගානට කපා ගෙන තමයි ඇලව්වේ.. අපේ අක්කාගේ සහයෝගෙත් ලැබුනා වැඩේට.. ඔන්න ඔය පල්ලෙහා දාලා තියෙන්නේ ඒකේ ෆොටෝ තමයි..
තව මාස කීපයකින් මේක ගලවලා අළුත් එකක් ගහන්න ඕනේ.. අපේ සිංහල බ්ලොග් අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ වගේ ලැප් ස්කින් ගහලා තියෙනවා නම් අපිටත් කියන්න..
පිටරට අයියා කෙනෙක් ලැප් ස්කින් එකක් ගහපු හැටි මෙන්න මෙතනින් බලාගන්න පුළුවන් ඕං..
Monday, August 17, 2009
අනුරාධපුරේ පැත්තෙත් එන්න...
මේ දවස් වල ඉස්කෝල නිවාඩුනේ... ඉතින් හැමෝම ට්‍රිප් යනවා රට වටේ... දැන් බෝම්බ, යුද්ධ, චෙක් පොයින්ට් වගේ අනම් මනං නැති හින්දා අළුත් අළුත් තැන් වලට යනවා... වෙනදා වගේ බදුලු බණ්ඩාරවෙල විතරක්ම යන එක අඩු වෙලා ටිකක් විතර... (ඒත් තාමත් අවු වැහි නොතකා යන අයත් ඉන්නවා.. හී හී... )
මං ඉතින් රජරට පුත්‍රයානේ.. අද ලිපිය ලියන්න හිතුනේ අනුරාධපුරේට කට්ටිය ගෙන්න ගන්න පොඩි ඇඩ් එකක් විදිහට... ;) මං මේ ඊයේ පෙරේදා ගියා අනුරාධපුරේ පූජා භූමිය පැත්තේ අපේ ඔෆිස් එකේ වැඩකට... සෑහෙන සෙනගක් හිටියා සතියේ දවසක් වෙලත්... වෙනදා මේ දවස් වලට මෙහේ සෙනග අඩුයි... දැන් මිනිස්සු බය නෑ අනුරාධපුරේ එන්න... වෙනදා අනුරාධපුරේ එන්න කිව්වාම "අපෝ කොටි ඉන්නවා" කියනවා.. ඒත් දැන් නම් කට්ටිය ටික ටික මේ පැත්තේ එනවා..
ඒ වගේම සති දෙක තුනක් වුනත් බලන්න දේවල් අනුරාධපුරේ තියෙනවා.. පූජා නගරයම හරියට බලනවා නම් දවස් තුන හතරක් යනවා... මිහින්තලේ, තන්තිරිමලේ, අවුකන, විජිතපුර, කලාවැව, හත්ථිකුච්චි, කුරුලුපෙත්තාගල වගේ තව හුඟාක් තැන් තියෙනවා ඉතින් හරියට බලනවා නම් ඕං... සාගර වගේ තියෙන වැව් වලින් නාලා.. වැව් පිට්ටනියක සෙල්ලම් කරලා... නෙළුම් කොලේක බත් ටිකක් කාලා... ජය සිරිමා බෝධිය වැඳලා කරලා යන්න එන්න රජරටට... ලංකාවේ පළමුවෙනි රාජධානියනේ...
ඔන්න ගයිඩ් කෙනෙක් එහෙම ඕනේ නම් කියන්න මං ඉන්නවා... හැබැයි සති දෙක තුනකට වත් කලින් ඇපොයිමන්ටුවක් දාගන්ඩ වෙයි ඕං... හීහීහී....
Monday, August 10, 2009
ඔන්න මාත් දැම්මා Theme 1ක්...
ඒක ඉතින් අරගෙන මට ඕනේ විදිහට කපලා කොටලා දන්න කියන HTML වැඩ කෑලි ටික දාලා බොහොම අමාරුවෙන් අටවා ගත්තා... මුලින් දකිද්දී නම් මහසෝනාගේ නංගීගේ වෙබ් සයිට් එක වගේ... (ආහ් මේ බ්ලොග්කරන මහසෝනා නෙමේ ඕං ඈ..) දැන් දකිද්දී නම් ආසාවේ බෑ... මෙහෙම ටෙම්ප්ලේට් දදා බලන එකෙන් ටික ටික HTML ඉගෙන ගන්න පුළුවන් වෙයි වගේ හොඳට... බලමු බලමුකෝ...
අනේ ඉතින් යාළුවෝ ටික මොනවාහරි කොටලා යන්න හොඳ නරක කියලා අඩුපාඩු හදාගන්නත් එක්ක.. අපි ඉතින් හැදෙන කියන වයසෙ ඉන්න කොළු ගැටයෝ නොවැ...
Tuesday, August 4, 2009
පූජාසනයේ ඔබ හිඳුවා... -- චන්ද්‍රිකා බණ්ඩාරණායක...
අදත් මං ආස කරන අහන විඳින ගීතයක් ගැන වචන කීපයක් ලියන්න හිතුනා... නන්දා මාලනී මහත්මිය තමයි ගීතය ගායනා කරන්නේ... සුනිල් ආරියරත්න වෙන්න ඇති මේ ගීතයෙත් පද ගලපන්න ඇත්තේ...
ගොඩක් කාලෙකට කලින් මේ ගීතය ඇහුවත් මේ ළඟදී ඉඳන් මේකට ටිකක් වෙනස් විදිහකට අපේ කාලේ ඇත්ත කථාවක් ගලපන්න හිතුනා... ඒ කථාවේ කථා නායිකාව අපි කොයි කවුරුත් දන්න අඳුනන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය... මේ ගීතයේ කියවෙන දේ නම් සරළව වටහා ගන්න පුළුවන් ඇති කියලා හිතනව මේ මගේ බ්ලොග කියවන හැමෝටම... ඒ වුනාට මේ ගීතයේ පද වල තේරුම ගලප්පන්න චන්ද්‍රිකා මැතිණියගේ ජීවිතෙත් එක්ක... චන්ද්‍රිකා මැතිණි හිටපු කාලේ පුජාසනේ හිඳවලානේ කොයි කවුරුත් පිදුවේ කෙරුවේ... මට මතකයි 94 චන්ද්‍රිකා මැතිණි වේදිකා වල කථා කරනවා අහන්න පොඩි එවුනුත් කර ගහගෙන අපේ පැත්තේ උදවිය මීටිං වලට ගියේ... "චන්ද්‍රිකා මැතිණිගේ ගාම්භීරත්වේ, කටහඩේ තියෙන පෞරුෂේ... රටට තියෙන ආදරේ කැපවීම..." කියලා තමයි මිනිස්සු ඒ දවස් වල කිව්වේ.. චන්ද්‍රිකා මැතිණිට වඩා කෙනෙක් ඒ දවස් වල ලොවෙත් හිටියේ නෑ... ඒ වුනාට ලෝකේ හැටි කියන්නේ අද චන්ද්‍රිකා මැතිණිට සළකන විදිහ බලන්න පොඩ්ඩක් හිතලා... මේ ගීතයේ කියවෙන "ඔබට පුදන මේ ලෝකයමයි හෙට.. ඔබට එරෙහි වී නැගිටින්නේ" කියන පද පේළියෙන් ඒ කාරණේ කියවෙනවා... අද වෙනකොට චන්ද්‍රිකා මැතිණිට ලංකාවේ රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි ගාණට අපේ ලොකු ලොක්කෝ වැඩ සලස්සලා ඉවරයි... හෙරක්, හිඟන්නියෙක්, බොරුකාරියෙක් කියන නම හංවඩු ගහලා ඉවරයි... චන්ද්‍රිකා මැතිණි හොරකම් කරන්න ඇති බොරු කියන්න ඇති, ඒත් කොච්චර වුනත් අපි කාල ඇඳලා හිටියනේ... ප්‍රේමදාසලාගේ කාලේ වගේ පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මිනී ගොඩ ගැහිලා තිබ්බේ නෑනේ... නිදහසේ පාරේ බැහැලා එහෙ මෙහෙ ගියා... අර පර කොටියෝ නැත්තම් කිසිම කරදරයක් නොවී ඉන්න තිබ්බා.. ඒත් චන්ද්‍රිකා මැතිණිට කරන්න පුළුවන් මට්ටමින් කලා කියලයි මං හිතන්නේ... මිනිස්සු වැරදි කරනවා, රහත් වුන අය බුදු වුන අය නෙමේනේ ඉන්නේ... ඉතින් ඇයි මිනිස්සු මේ ගැන හිතන්නේ නැත්තේ කියලා මට පුදුමයි.. ඒ මදිවට වික්ටර් අයිවන් කියලා යකෙක් චන්ද්‍රිකා මැතිණිට විරුද්ධව පොතක් ලියලා "චෞර රැජින" කියලා... අනේ හත්දෙයියනේ හතුරෙකුට වුනත් මෙහෙම කථා කරනවාද ලෝකයක් ඉස්සරහා... පොතේ ඇතුලේ මොන මගුල තිබ්බත් අඩුම ගානේ පොතේ නමවත් ටිකක් පිළිවෙලකට ලියපන් රටේ හිටපු රාජ්‍ය නායිකාව කියලා හිතලා බලලා... මට නම් පුදුම දුකයි ඒ ගැන..
හපේ අපුච්චියේ.... මේ මං මොනවාද ලියලා තියෙන්නේ... දේශපාලනේ නොවැ... හත්තිලව්වයි... අපේ අම්මා හැමතිස්සෙම කියනවා මට "මොන දේ ගැන උඹ කථා කරත් කමක් නෑ පුතේ, හැබැයි ඔය දේශපාලනේ ගැන නම් කථා කරන්නෙපා, මොකද මට ඉන්නෙ එක කොළුවයි සත 5 වගේ... ඉතින් උඹවත් අර සුදු වෑන් කෑල්ලක දාගෙන ගියොත් මං මොන අයියනායක දෙයියොන්ට කියන්ඩද?" කියලා...
හරි කොහොම වෙතත් මේ ගීතය මියුරු ගී අඩවියට ගිහින් අහන ගමන් මේක බලන්න... එතකොට ගීතය සෑහෙන්න විඳින්න පුළුවන් වෙයි.. මෙන්න තියෙනවා ලින්ක් කෑල්ල... මෙන්න මෙතන ක්ලික් කරන්න
ඉතින් මං ඉස්සරහට තව ලියන්නම් මේ වගේ... හැබැයි පොඩි කමෙන්ට් පාරක් හෙම දානවා නම් තමයි ඉතින් වැඩේ කික්...
සිත අතරමං වෙලා....
අදත් ඔන්න හිතුනා මං ආස කරන ගීතයක් ගැන පොඩ්ඩක් ලියන්න... මගේ යාළුවොන්ගේ උනන්දු කිරීමත් දිරිගැන්වීමත් නිසා තමයි දැන් දවස් තුනක් තිස්සේ එක දිගට ගීත තුනක් ගැන ලිව්වේ... කලින් ගීත දෙක වගේම මේකත් හැමෝම රසවිඳී කියලා බලාපොරොත්තු වෙනවා...
මේ ගීතය ටිකක් අළුත් ගීතයක්... 2005 විතර ඉන්දික ප්‍රසාද් කියලා මහත්මයෙක් තමයි ගායනා කලේ... මගේ රසවින්දනයට අළුත්ද පරණද සිංහලද හින්දිද දෙමළද ඉංග්‍රිසිද බෙංගාලිද ජපන්ද කියලා භේදයක් නෑ... විඳින්න පුළුවන් නම් ඇඟට දැනෙනවා නම් ඕනම ගීයකට මේ හිත ඇරලා... ආහා ඇති පොර ටෝක් දුන්නා...
මේ ගීතයේ ඇත්තම තේරුම මොකක්ද කියලා මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා... ඒ වුනාට මං විඳින අහන හැම ගීතයකටම අමාරුවෙන් හරි මං කථාවක් ගොඩනගා ගන්නවා.. මේකේ පද පේලි අනුව මං හිතුවෙ මෙහෙම...
විවාහ වෙලා ආදරයෙන් කාලය ගතකරපු ජෝඩුවක් එක පාරටම විරසක වෙනවා... ඒකට හේතුව වෙන්නේ මේ තරුණයාගේ බිරිඳ වෙනත් පිරිමියෙකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන බව අතටම අහුවීම නිසා... ගොඩාක් ආදරෙන් හිටපු මේ තරුණයාට මේක දරා ගන්න බෑ... ජීවිතේ සෑහෙන්න කළකිරෙනවා... තමන්ගේ ජීවිතේට තිබ්බ එකම අරමුණත් නැති වෙලා... දැන් ජීවිතේ විඳිනවා නෙමෙයි විඳවනවා... තව දුරටත් හිතන්න කිසිවක් නෑ කියලා මේ තරුණයා කියන්නේ සියදිවි නසා ගන්නවත්ද ?
මට නම් සමහර තැන් හිතා ගන්න බෑ... පුදුම ගීතයක් මාව අමාරුවේ දාපු..
මෙන්න මේ පද පේළියට මං පුදුම විදිහට ආසයි...
"පිය මනිනවා නොවෙයි පා නැගෙයි මාවතේ
සිත නැවතිලා වගෙයි නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ
තෙපිත් ඉගිලියව් අහසට නොසිට කෑ පතේ"
Sunday, August 2, 2009
"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ........"
කාවින්ද්‍යා නංගියාගේ සිද්ධියත් එක්ක මං ආසම කරන සින්දුවක් මගේ ඔළුවට ආවා මේ දවස් වල... කාවින්ද්‍යා නංගීගේ සිද්ධියට කෙලින්ම සමාන නැති වුනත් මට මේක ගැන ලියන්න හිතුනා... 80 දශකේ අග භාගේ විතර සුනිල් එදිරිසිංහ මහත්තයා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ.. කවුද ලිව්වේ සංගීතය යෙදුවේ කියලා නම් හොයාගන්න බැරි වුනා... දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න.. මං මේ ගීතයට ගොඩාක් ආසයි.. පුදුම ලයාන්විත හැගීමක් ඇතිවෙනවා පීතෘ ස්නේහය ගැන...
නව යොවුන් වයසේදි ප්‍රේම සම්බන්ධයක පැටලිලා ගෙදරින් පැනලා ගියපු දුවෙක් ගැන තාත්තා කෙනෙක් කියන ගීතයක් තමයි මේක... ලයින් කාමර වල ජීවත් වන දුප්පත් පවුලක් මේගොල්ලො... ටිකක් කලකට ඉහත ලියවුනත් අදටත් මේ සියළුම කරුණු කාරණා හොඳින් ගැලපෙනවා කියලා හිතෙනවා.. මේ ගීතයේ අවසාන පද පේළියට මගේ ඇස් දෙකේ කඳුළු පුරවන්න පුළුවන් වුනා.. ඒ පද පේළිය තමයි මේ..
"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ"
ඕගොල්ලොත් රසවිඳින්න මේ ගීතය...
Saturday, August 1, 2009
තායිලන්තයේ බැංකොක් නුවරට ගිය ගමනක්....
ඔන්න ඉතින් මං බංගලාදේශේ ඩකා නුවර දවස් 6ක් විතර ඉඳලා ඊළඟට ගියේ තායිලන්තේ බැංකොක් නුවරට... “ශියා” ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙන් නැගලා බැංකොක් වල ස්වර්ණභූමි ජාත්‍යාන්තර ගුවන් තොටෙන් තමයි ගොඩබැස්සේ... නිකන් හරියට අපායේ ඉඳලා දිව්‍ය ලෝකෙකට බැස්සා වගේ... අධිවේගී මාර්ග, පිරිසිදු පාරවල්, ලස්සන ලස්සන වාහන, ලස්සන මිනිස්සු, ලස්සන ගහකොළ, ලස්සන වටපිටාව ඇතුළු මේ හැමදෙයක්ම...
තායිලන්තය කියන්නේ අපේ රට වගේ බෞද්ධ රටක්.. බහුතරය බෞද්ධයෝ... හැබැයි එහේ බුද්ධාගමේ අදහන චාරිත්‍ර වාරිත්‍ර ටිකක් වෙනස්.. මීටර් 100න් 100ට වගේ පන්සලක් තියෙනවා... වැදගත්ම කාරණය තමයි එහේ පිරිමි අය අවම වශයෙන් මාස 03කට වත් මහණ වෙලා ඉන්න එක... සිවුරු ඇරියට කිසිම ප්‍රශ්ණයක් නෑ... කැමති අයට ඉන්න පුළුවන්, අකමැති අයට යන්න පුළුවන්... සමාජයෙන් කොන් කිරීමක් නෑ... මහණ වෙලා මාස 03න් වුනත් උපසම්පදාව එහේ ගන්න පුළුවන්... එවගේම වැඩි කාලයක් මහණ වෙලා හිටිය අයට සමාජයේ තැන වැඩී... කවදා හරි කසාද බඳින්න ගියත් මහණ වෙලා හිටපු කාලය හරියට උපාධියක් ගත්තා හා සමානයි... ඒගොල්ලෝ මහණ වෙන එකෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ විනය එහෙම හැදෙන එක වෙන්නැති.. එහේ කාන්තාවෝ ගැනත් ටිකක් කියන්නම්... ඇත්තටම මුලින්ම මං පොඩි අපහසුතාවයකට පත්වුනා... මොකද ඔක්කොම එක වගේ... එක අච්චුවේ හදපුවා වගේ... අඳුරන්න අමාරුයි වෙන් කරලා... ඔක්කොම ඉතින් සුදු කෙල්ලෝ... අයෙ අහන්න දෙයක් නෑනේ තායිලන්තේ කිව්වාම... ගණිකා වෘත්තියට ලයිසන් පවා දීලා තියෙන්නේ... අවුරුදු 30ට අඩු කෙල්ලොන්ගෙන් බහුතරයක්ම අඩි භාගයක විතර සායක් තමයි අඳින්නේ... මං ඉතින් හැදිච්ච කොල්ලා හින්දා අහක බලාන හිටියා.. මං දිහා නම් කෙල්ලෝ බලන්න ඇති අනන්තවත්... මං නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ ඕං... හීහීහිහි...
අපි නවාතැන් ගත්තේ හොටෙල් ඩී මොක් කියන හෝටලයේ... ඒ වගේම “වත් ඉන්” කියන පන්සලේත් නැවතුනා.. අපේ අඳුනන යාළුවෙක් එහේ ඉන්න නිසා පන්සලේ නවාතැන් ගන්න අවස්ථාව ලැබුනා... ඒක පන්සලක් කිව්වාට හොඳ හෝටලයක් වගේ... එහේ පන්සල් කොහොමත් ඒ වගේ තමයි... මේ පන්සල බැංකොක් නගරයට ටිකක් විශේෂ පන්සලක්... අපිට දැනගන්න ලැබුනු විදිහට බැංකොක් නුවර උසම බුදු පිළිමය තියෙන්නේ මේ පන්සලේ.. පහලින් දාලා තියෙන්නේ ඒ බුදුපිළිමේ... ඒ වගේම මේ පන්සලේ තියෙනවා තවත් ඉතා සුවිශේෂි දෙයක්... ඒ තමයි අවුරුදු 50ක් පමණ පැරණි නායක ස්වාමීන් වහන්සේ නමකගේ මෘත දේහය.. ඒ දේහය භාවනා කරන ඉරියව්වකින් තැන්පත් කරලා තමයි තියෙන්නේ... මේ නායක හාමුදුරුවෝ දැන් අපවත් වෙලා අවුරුදු 50කටත් වැඩීලු.. තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු හාමුදුරු නමක් කියලයි දැනගන්න ලැබුනේ... අපේ යාළුවාගේ උදව්වෙන් අපේ වාසනාවට ඡායාරූප කීපයක් ගන්න අවස්ථාව ලැබුනා.. මේ පහලින් තියෙන්නේ ඒ ඡායාරූප.. දවසේ පැය 24ම මේ කුටිය ඇතුලේ පිරිත් කියවෙනවා... මේ කුටිය සම්පූර්ණයෙන් වායු සමීකරණය කරලා තියෙන්නේ...
බැංකොක් නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ක්‍රම කීපයක් තියෙනවා... ටුක් ටුක් කියලා ත්‍රීරෝද රථ වර්ගයක්, මීටර් ටැක්සි කාර්, පොදු බස්රථ, අහස් දුම්රිය සේවා (Sky Train), භූගත දුම්රිය සේවා (underground train), බෝට්ටු සේවා තමයි තියෙන්නේ ඉතින්... මේවායින් බස් හැර අනික් එවා ඔක්කෝගෙම මං ගියා... වැඩිපුරම ගියේ මීටර් ටැක්සි වලින් තමයි... පාරෙ යන වාහන වලින් 4/10ක්ම මීටර් ටැක්සි කාර් තියෙන්නේ... ඉතින් වැඩිපුර මේ ක්‍රමේ තමයි හැමෝම පාවිච්චි කරන්නේ... මං ටුක් ටුක් වල දෙතුන් පාරක් ගියා... තායිලන්තේ දිගම ගඟ වන චාඕ ප්රයා වල තියෙන බෝට්ටු ප්‍රවාහන සේවේ ගිහින් එතනින් බැහැලා ස්කයි ට්‍රේන් එකේ ගිහින් ආපහු අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකේ හිටපු තැනටම ආවා... පහලින් තියෙන ඡායාරූප ඒවා තමයි...
බැංකොක් වල පරිගණක ආශ්රිත දේවල් ගන්න ඕන නම් යන්න ඕනේ පන්ටිප් ප්ලාසා කියන සාප්පු සංකීර්ණයට... අපේ යුනිටි ප්ලාසා එක වගේ... අඩුවට ලැප්ටොප් එහෙම ගන්න ඕන නම් පන්ටිප් ප්ලාසා එක කියාපු තැන... හැබැයි සමහරක් දේවල් වල නම් ලංකාවෙයි එහෙයි ගණන් වල වෙනසක් නෑ... රු. 40,000 ඉඳලා වගේ හොඳ Compaq ලැප්ටොප් එකක් ගන්න පුළුවන්... මොබයිල් ෆෝන් ගන්න නම් බැංකොක් යන්න එපා... ගණන් වල කිසි වෙනසක් නෑ.. ලංකාවෙන් ගන්න එක ඊට වඩා හොඳයි... ඩිජිටල් කැමරා නම් යාන්තන් ටිකක් විතර අඩුයි.. හැබැයි ඇඟට දැනෙන තරම් නෑ...
බැංකොක් වල ඇඳුම් පැළඳුම් ගැන කියන්න ඕනෙ නෑනේ... එහේ ගොඩක් ලාබෙට ගන්න දෙයක් තියෙනවා නම් ඉතින් ඒ හොඳ තත්වයේ ඇඳුම පැළඳුම් තමයි... ටී ෂර්ට් නම් ගොඩාක් ලාබයි... ඩෙනිම් වගේ නම් තොග ගන්නවා නම් ලාබයි... කාන්තා ඇඳුම් නම් ලෝකයක්... හිතාගන්න බෑ... ආහ් ලස්සන අළුත් අළුත් තාලේ සපත්තු සෙරෙප්පු තියෙනවා හැම තැනම... මං සපත්තු ජෝඩු 03ක්ම ගෙනාවා... හික්ස්... ඔය අතරේ තායි මසාජ් සෙන්ටර් එකක් දැක්කා.. එකේ ඡායාරූපයක් තමයි පහල තියෙන්නේ.. තායිලන්තේ හැම තැනම වගේ තායි මසාජ් සෙන්ටර් තියෙනවා... ලංකාවෙත් තියෙන්නේ ඔය මසාජ් සෙන්ටර් නම් නේද? ;)
තායි කෑම... හප්පේ... මුල්ම දවසේ නම් ටිකක් අමාරුවුනා බඩට බස්සා ගන්න... ඊළඟ දවසේ ඉඳන් නම් ටික ටික හරිගියා... ගොඩක් එළවළු අමුවෙන්ම වගේ තමයි එහේ කන්නේ... කන්කුන් එහෙම නම් අමුවෙන්ම කනවා... නිදිකුම්බා කොළත් තම්බලා කනවා.. පහල ඡායාරූපේ තියෙන්නේ මාළුවෙක් තම්බලා... ගින්දර අඟුරු පිටින් මේසේ උඩට ගෙනත් තියලා තියෙන්නේ.. ඒකටම අර නිදිකුම්බා, කන්කුන් කොල ටික දාලා තම්බ තම්බ කාල මාළුවත් ගිලලා දානවා...
මං හිතන්නේ මේ ටික ඇතිවෙයි කියලා මගේ තායි සංචාරය ගැන.. තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අහන්න... ඊළඟ සංචාරේ ඉන්දියාවේ කල්කටා නුවරට.. එක පාරක් නම් ගියා.. දෙවනි පාරටත් ගිහින් ආපුවාම මේ වගේ ලිපියක් ලියන්නම්... මේක ලියන්න පරක්කු වුනාට සමාවෙන්න...