Saturday, June 23, 2012

සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2



මේ මාසේ මුලදී එටිසලාට් ආයතනයෙන් මට අවස්ථාවක් ලැබුනා සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2 එක සති කීපයකට පාවිච්චි කරලා බලන්න.. නියමු වැඩසටහනක් විදිහට ගැජට් ගැන ගුණ දොස් කථා කරන වැඩසටහන් මාළාවක පළමු අංගය විදිහට තමයි මේ අවස්ථාව මට ලැබුනේ..

සැම්සුන්ග් ගැලැක්සි ටැබ් කාණ්ඩයේ අළුතෙන් හඳුන්වා දෙන සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2 එක අඟල් 7 ප්‍රමාණයේ ටැබ් එකක් තමයි මට ලැබුනේ.. මේ ටැබ් එක වර්ග දෙකකින් දැනට වෙළඳපොලේ ගන්න පුළුවන්.. ඒ 8GB, 16GB සහ 32GB විදිහට.. කලින් තිබුනු මාදිලිය එක්ක බලද්දී පහතින් තියෙන වෙනස්කම් විශේෂයෙන් හඳුනාගන්න පුළුවන්..


HSPA+ 21Mbps 850/900/1900/2100
පැරණි මාදිලියේ 7.2Mbps වෙනුවට වැඩිදියුණු කල 21Mbps අන්තර්ජාල සම්බන්ධවීමේ වේගයක් ටැබ් 2 එකට තියෙනවා..


1 GHz Dual-Core Processor
ප්‍රොසෙසර් එකත් පැරණි මාදිලියට වඩා වැඩි වේගයක් සහිත ඩුවල් කෝර් වර්ගයේ ප්‍රොසෙසරයක්..


7” WSVGA (1024x600) PLS TFT
කලින් තිබුනු TFT capacitive touchscreen එක වෙනුවට PLS LCD capacitive touchscreen එකක් මේ මාදිලියේ තියෙනවා..



Android™ 4.0
(Ice Cream Sandwich)
ඇන්ඩ්‍රොයිඩ් අළුත්ම සංස්කරණය වන අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහි මෙහෙයුම් පද්ධතිය වශයෙන් භාවිතා වීමත් විශේෂයි.


Main (Rear) : 3 Megapixel Camera
Sub (Front) : VGA for Video Call

කැමරා යුගලයේ නම් කිසිම වැඩිදියුණුවක් කරලා නෑ අළුත් මාදිලියක් වුනත්..


Bluetooth technology v 3.0
USB 2.0 Host
Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct
Accelerometer, Digital compass, Light
Proximity
ඉහත තියෙන පහසුකම් නම් කලින් මාදිලියෙත් තිබුනා.. ලොකු වෙනසක් මේ පහසුකම් වල වෙලා නෑ..


8 / 16 / 32GB User memory + 1GB (RAM)
microSD (up to 32GB)

අළුත් මාදිලියේ රැම් එක පැරණි එකට වඩා දෙගුණයක් තිබීම වැදගත්.. වැඩි ඇප්ලිකේෂන් ප්‍රමාණයක් එක විට විවෘත කරගන්න අවස්ථාව තියෙනවා මේ පහසුකම නිසා.. ඒ වගේම බාහිර මතකපතක් පාවිච්චි කරන්නත් පුළුවන් අන්තර් මතකයට අමතරව..

Size : 193.7 x 122.4 x 10.5 mm
Weight : 345g
පැරණි මාදිලියට වඩා බරත් මහතත් මේ නව මාදිලියේ අඩු වීම වැදගත්..


Standard battery, Li-ion 4,000 mAh
අළුත් මාදිලියේ බැටරියේ ආයු කාලය සෑහෙන හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්..



පොඩි අඩුපාඩු කීපයක් විදිහට පහත ඒවා මම දැක්කා..

- ඇන්ඩ්‍රොයිඩ් 4.0 වල ඇප්ස් ඉන්ටර්නල් මෙමරි එකෙන් එක්ස්ටර්නල් මෙමරි එකට අයින් කරන්න නොහැකි වීම ඒක අඩුපාඩුවක්.. නමුත් ඉන්ටර්නල් මෙමරි එක 8GB වලට වඩා තියෙන නිසා ගැටළුවක් වෙන්නේ නෑ.. ඒ වගේම ඉදිරියට ඒමට නියමිත ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ වල මේ අඩුපාඩුව මගහරවයි බොහෝදුරට..

- ශබ්දය අඩුවැඩි කිරීමේ බොත්තම් පිහිටලා තියෙන ස්ථානය ටිකක් විතර කරදරයක් වගේ ටැබ් එක අල්ලා ගෙන ඉඳිමේදී.. ඊට ටිකක් පහලින් ටැබ් එක අල්ලන්න පුරුදු වීම අවශ්‍ය වෙනවා මේ නිසා..



වර්තමාන මිළ

දැනට එටිසලාට් ආයතනයෙන් හඳුන්වාදෙන මිළ රු. 67,000/- ක් නොමිලේ මාස 6කට ලැබෙන 2GB පැකේජයත් සමග.. පරණ මාදිලියේ මිළ සමග සන්සන්දනය කරද්දී මෙම මිළ යම්කිසි මට්ටමක සාධාරණයක් තිබෙනවා..





උදිත් නාරායන් !



පහුගිය 16 වෙනි සෙනසුරාදා හවස අහඹු සිද්ධියක් වුනා.. අපේ අක්කාට සිරස රේඩියෝ එකෙන් උදිත් නාරායන් සජීවී සංගීත ප්‍රසංගය බලන්න ටිකට් දෙකක් ඇදිලා තිබුනත් එයාට යන්න වෙන්නෙ නෑ කියලා මට කිව්වා..

මම කොහොමත් හින්දි ගීත වලට ඉස්සර ඉඳලාම ආස නිසා අක්කා කිව්වා මට ටිකට් දෙක ගන්න කියලා.. මේ ප්‍රසංගය බලන්න ටිකට් සල්ලි දීලා හරි අරගෙන යන්න උවමනාව තිබ්බත් ඒ සතියේ විභාග කීපයක් යෙදිලා තිබ්බ නිසා නොයා ඉන්න හිත හදාගෙන හිටියේ.. ඒත් ඉතින් වාසනාවක් කියලා දෙයක් තියෙනවා නම් පස්සෙන් පන්නා ගෙන හරි ඇවිත් ලැබෙනවා කියලා කතාවකුත් තියෙනවානේ.. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වුනේ.. කොහොමහරි ඉතින් ටිකට් දෙක අරගෙන මායි මගේ ඔෆිස් එකේ යාලුවයි එක්ක බලන්න ගියා මගේ බයික් රාජයාගේ උඩ නැගලා CH&FC එකට..

1990 ගණන් වල අති ජනප්‍රිය හින්දි ගායකයෝ දෙන්නෙක් හිටියා.. ඒ තමයි උදිත් නාරායන් සහ කුමාර් සානු.. දෙන්නා තරඟෙට වගේ තමයි චිත්‍රපටි වල සින්දු කිව්වේ.. මොහොමඩ් රාෆි, කිෂෝර් කුමාර්ට පස්සේ හින්දි සිනමාවට බිහිවුනු විශිෂ්ඨම හඬ යුගලක් විදිහට මේ දෙන්නා හඳුන්වන්න පුළුවන්.. මේ අතරින් උදිත් නාරායන්ගේ කටහඬ වෙනස්ම නැවුම් හඬක් විදිහට කා අතරත් අදටත් හොඳ පිළිගැනීමක් තියෙනවා.. උදිත් නාරායන්ගේ අති ජනප්‍රිය පළමු වෙනි පසුබිම් ගායනය විදිහට සටහන් වෙන්නේ කයාමත් සේ කයාමත් තක් චිත්‍රපටියෙන්.. ඒ මෙරේ හම් සෆර්, පාපා කෙහෙතේ හේ.. ගීත ගැයුනේ 1988 කාලේදී.. අමීර් ඛාන් හින්දි සිනමාවට පැමිණි මුල් කාලයත් හින්දි සිනමාවේ හැරුම් ලක්ෂයක් විදිහට සඳහන් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි ඒ.. පසු කාලීනව අනිල් කපූර්, සල්මන් ඛාන්, ආක්ෂේ කුමාර් වගේ නළුවන් රඟපෑ චිත්‍රපටි ජනප්‍රිය වෙන්න උදිත් නාරායන්ගේ පසුබිම් ගීත ගායනය ගොඩක් හේතු වුනා කියන්න පුළුවන්..












විශේෂයෙන් අද ශාරුක් ඛාන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳෙන්නට උදිත් නාරායන්ගේ මියුරු කටහඬ උපයෝගී වුනා කියලා බය නැතුව කියන්න පුළුවන්.. ඩර්, දිල්වාලේ දුල්හනියා ලේ ජායේන්ගේ, කුච් කුච් හෝතා හේ චිත්‍රපටි මේ අතරින් විශේෂයි..












ඉතින් එදා 16 වෙනිදා රැය මගේ ජිවිතේ අමතක නොවන රැයක් කියන්න පුළුවන්.. උදිත් නාරායන් නැමැති මියුරු ගායකයාගේ කටහඬ සජීවීව අහන්නට ලැබීම ලොකු වාසනාවක් මට නම්.. එදා ප්‍රසංගයේ ගයපු පලමුවෙනි ගීතය වීඩියේ කරගන්න පුළුවන් වුනා මගේ ෆෝන් එකට පින්සිද්ද වෙන්න.. ඔන්න ඒකත් තියෙනවා පහලින් බලා ගන්න..


Wednesday, June 20, 2012

පත කැමරාව..





මගේ සිංහල බ්ලොග් කෙරුවාව පහුගිය කාලේ අගලට වැටුනා නොදැනුවත්වම.. ඒ ටික කාලෙදි ජීවිතේ සිද්ධවුන මුණගැහුණ පහුකෙරුණු අතෑරපු විඳපු විඳවපු දේවල් රාසියයි.. ඒ අතරින් එක් වැදගත් දෙයක් තමයි ජීවිතේ පළමුවෙනි ඩී.එස්.එල්.ආර්. කැමරාව මිලදී ගැනීම..

2011 ජූනි මාසේ අග හරියෙදී තමයි මේ කැමරාව මම ගත්තේ.. මගේ හිතවත් මිත්‍රයෙක් පාවිච්චි කල Canon 1000D වර්ගයේ කැමරාවක් ටිකක් විතර අහම්බෙන් වගේ තමයි මට මිළදී ගන්න අවස්ථාව ලැබුනේ.. මේ කැමරාවත් එක්ක 18-55මි.මි කිට් ලෙන්ස් එකත් තව අමතරව 55-250මි.මි සූම් ලෙන්ස් එකකුත් මට ලැබුනා.. මගේ ජීවිතේ හීනයක් වගේ තිබුනු ඩී.එස්.එල්.ආර්. කැමරා සිහිනය ඉතින් කොහොම කොහොම හරි ඔහොම සැබෑ කරගන්න අවස්ථාව ලැබුනා..

දැන් මේ කැමරාව අරගෙන අවුරුද්දකටත් ලං වෙනවා.. වැඩිපුරම ජායාරූප ගත්තේ මගේ රැකියා ස්ථානයේ වැඩ කටයුතු වලට අදාල අවස්ථා කිව්වොත් හරි.. මම කිසිම කැමරාකරණ පන්තියකට හෝ කැමරාකරණය පිළිබඳ ගුරුවරයෙක් ළඟට නම් තාම ගියේ නෑ.. හැබැයි යන්න උවමනාවක් තියෙනවා තවදුරටත් ඉගෙන ගන්න..

හැබැයි මම වැඩිපුරම ඉගෙන ගත්තේ අන්තර්ජාලයේ තියෙන ඡායාරූපකරණ පාඩම් කියවලා... ඕන තරම් පාඩම් වගේම කියලා දෙන්න අයත් අන්තර්ජාලයේ වැහි වැහැලා.. තේරෙන්නෙම නැත්තම් යූටියුබ් එකට ගිහින් උනත් ඉගෙන ගන්න පුළුවන්..

මම ගත්ත ඡායාරූප ෆ්ලිකර් ගිණුමට එකතු කරලා තියෙනවා.. පහලින් ගිහින් ඔන්න බලාගන්න පුළුවන්..

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009