Showing posts with label Hindi Old Songs. Show all posts
Showing posts with label Hindi Old Songs. Show all posts

Saturday, October 3, 2009

ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... Old Hindi Songs...



ඔන්න වෙනදා කියනවා වගේ අදත් සුපුරුදු විදිහට "කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි වුනානේ" කියලම පටන් ගමු... :D :D

අද ලියන්න කියලා හිතුවේ කාලයක් තිස්සේ ලියන්....ඩම කියලා හිතං හිටිය "පැරණි හින්දි ගීත" ගැනයි... මගේ ජීවිතේ විනෝදාංශ කියලා කරන ඒවා අතරින් ප්‍රධානම එකක් තමයි පැරණි හින්දි ගීත අහන එක, එකතු කරන එක හා ගායනා කරන එක (අමාරුවෙන් හරි)... මං දැක්කා අපේ සිංහල බ්ලොග්කරුවන් අතරත් ගොඩාක් පැරණි හින්දි ගී රසිකයෝ රසිකාවියෝ ඉන්නවා කියලා... ඉතින් ඒක හින්දම අද පැරණි හින්දි ගීත ගැන මං හිතන දේ ලියනවා..

අපේ තාත්තාගේ පවුලේ උදවිය ගොඩක් කලාවට බරයි... සින්දු, චිත්‍රපටි තමයි ඒ අයගේ විනෝදාංශ... ඉතින් පොඩි කාලේ ඉඳලා මට ඇහුනේ සිංහල හින්දි සින්දු... හැබැයි අපේ තාත්තා විතරක් ඇබා, බොනීඑම් සංගීත කණ්ඩායම් වල සින්දු අහපු නිසා මටත් ඒවායේ පද නොතේරුනත් තාලෙට නිකම්ම නැටවුනා පොඩි කාලේ... (කැසට් පීස් තාමත් තියෙනවද කොහෙද.. හොයලා බලන්න ඕනේ..) අපේ තාත්තා සින්දු පිස්සා... හොඳට සින්දු කියන්න පුළුවන්.. තාත්තා සින්දු කියද්දී අපේ අක්කයි මායි නටනවා... අපිට තිබ්බා නැෂනල් පැනසොනික් රේඩියෝ කැසට් එකක්... අපේ පැත්තටම තිබ්බෙත් රේඩියෝ දෙකයිද කොහෙද... ඉතින් අපේ තාත්තා ළඟ කැසට් පීස් (සමහරු නම් කැසට් පීස් කිව්වාම දන්නවාද දන්නෙත් නෑ.. ඒ තරමට දැන් ඒවා අභාවයට යනවා ඩිස්කට් වගේ) පෙට්ටියක් තිබ්බා... ඊට අමතරව ඉතින් ඒ කාලෙනම් තිබ්බේ ගුවන් විදුලි නාලිකා අතේ ඇඟිලි ගානට... වෙළඳ සේ‍වය, ස්වදේශීය සේවය, රජරට සේවය තමයි අපි ඇහුවේ... මේවායේ ගොඩක් වෙලාවට පැරණි සින්දු ගියා අදට වැඩිය... මං හින්දි සින්දු වලට මෙච්චර ආස වෙන්න අනික් ප්‍ර්‍රධානම හේතුවක් තමයි ඉස්සර ජනප්‍රිය වුන හැම හින්දි සින්දුවකටම සිංහල කොපියක් තිබ්බ එක... මේ කාරණේ අනික් අයටත් පොදුයි කියලා මං නම් හිතන්නේ.... අනික් කාරණේ මේ හැම සින්දුවකම තනුව වගේම සංගීතය හිතට වදින විදිහට එකතු කරලා තියෙන්නේ ගායනයට හානියක් නොවෙන්න.. ඕනෙම පරණ සින්දුවක පැහැදිලිව කටහඬ ඇහෙනවා.. පද ටික තේරෙනවා.. මට හින්දි ටිකක් හරි පුළුවන් වෙන්න මේකත් හේතුවක්...

මුල්ම හින්දි චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ 1913 දී... ඒකේ නම "රාජා හරිස්චන්ද්‍ර"... එත් ඒක ගොළු චිත්‍රපටියක්... ඒ කියන්නේ රූප විතරයි සද්ද නෑ.. ශබ්දයත් එක්ක මුලින්ම හින්දි චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙන්නේ 1931 දී... ඒ "අලම් ආරා".. මේ චිත්‍රපටියට සින්දු 07ක් ඇතුලත් වෙලා තියෙනවා... ඉතින් මේ හින්දි සිනමා ගීත ඉතිහාසයේ පළමු වෙනි පියවර වෙන්නෙ මෙතනයි.. එත් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගය කියලා කොයි කවුරුත් හඳුන්වන්නේ 1940 - 1960 දක්වා කාලය... ඒත් මේ උදාර මහත්තයාගේ විචාරයට අනුව ස්වර්ණමය යුගය වෙන්නේ 50 දශකේ මුල් භාගේ ඉඳලා 80 දශකේ මුල් භාගය දක්වා දිවෙන කාලය... හරියටම කිව්වොත් 1949 ඉඳලා ඒ කියන්නේ බර්සාත් ඉඳලා 1982 ඩිස්කෝ ඩාන්සර් වෙනකං කාලය... (හැබැයි මේ කාලේ මං ඉපදෙන්ඩ හිතලවත් නෑ..) බර්සාත් එකේ තියෙන සින්දු හැම එකකටම වගේ මං නම් ආසයි... හැම සින්දුවක්මත් මං ළඟ බොහොම සුරක්ෂිතව තියෙනවා... මේ හැම සින්දුවකම පද පේළි වල තේරුම දන්න නිසා බොහොම හොඳට විඳින්න පුළුවන්..

මගේ පැරණි හින්දි සින්දු ලෝකේ රජ්ජුරුවෝ තමයි මොහොමඩ් රාෆි මහත්තයා... රැජිණ ගැන ආයෙ කථා දෙකක් නෑ ලතා මංගේෂ්කාර් නෝනා... එතකොට යුවරජු තමයි කිෂෝර් කුමාර් මහත්තයා... රජ සීයා තමයි මුකේෂ් මහත්තයා.. එතකොට මදන් මෝහන්, නවුෂාඩ්, ඕ.පී. නායර්, රාහුල් දේව් බර්මන් (ආර්. ඩී. බර්මන්), සචින් දේව් බර්මන් (එස්. ඩී. බර්මන්). ලක්ෂ්මී කාන්ත්-ප්යාරේ ලාල් යන පුරෝහිත (සංගීත අධ්‍යක්ෂකවරුන්) පරපුර අමතක කරන්නම බෑ... මෙතනින් එස්. ඩී. බර්මන් හා ආර්. ඩී. බර්මන් ගැන විශේෂයෙන් කියන්න ඕනේ.. එස්. ඩී බර්මන් කියන්නේ ආර්. ඩී. බර්මන්ගේ තාත්තා... මං ගොඩක් ආස කරන සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක්...

කොයින් කොහොම වුනත් මං දැං කාලේ හින්දි සින්දු වලටත් මේ ව‍ගේම ආසයි... ඒ හැම එකක්මත් එකතු කරනවා රස විඳිනවා.. ඒ ගැන ලිපියක් වෙනමම ලියන්න ඕනේ.. ඒ වගේම ළඟඳීම ලංකාවේ ජනප්‍රිය වුන පැරණි හින්දි ගීත වලට වෙනමම බ්ලොග් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා... හැමෝගෙම සහයෝගෙ ලැබෙයි කියලා හිතනවා..

අදට ඇති එහෙනම්...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009