Monday, September 3, 2012

Motorola Zoom 2 ටැබ් එක මෙන්න..


දැනට සති කීපයකට කලින් තවත් ටැබ් එකක් පාවිච්චි කරලා බලන්න මට අවස්ථාව ලැබුනා එටිසලාට් එකෙන්.. මොටොරෝලා සූම් 2 කියන ටැබ් එක තමයි ඒ.. පහලින් තියෙන්නේ ඔන්න ඒ ටැබ් එකේ පින්තූරයක් තමයි..

සැම්සුන්ග්ලාගේ ගැලැක්සි ටැබ් (Samsung Galaxy Tab) වගේ අසූස්ලාගේ ට්‍රාන්ස්ෆෝර්මර් (Asus Transformer) ටැබ් වගේ මෝටොරෝලා සමාගමේ ටැබ්ලට් පරිගණක හඳුන්වන්නේ සූම් (Xoom) කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන්..

ඉතින් මේ මට පාවිච්චි කරන්න ලැබුනු ටැබ් එක අඟල් 10.1 ප්‍රමාණයේ ටිකක් ප්‍රමාණයෙන් විශාල ටැබ් එකක්.. වෙනත් ටැබ් වලට වඩා මේකේ හැඩය පවා වෙනස් විදිහට නිර්මාණය කරලා තියෙනවා.. ටැබ් එකේ මුළු හතර ඍජුකෝණ නැතිව ටිකක් රවුම් හැඩයට හදලා තියෙන්නේ වැදිලා හැප්පිලා වෙන හීරීම් තැලීම් වලක්වා ගන්න වෙන්න ඕනේ.. මේ ටැබ් එකේ පිරිවිතර කොහොමද කියලා අපි දැන් බලමු.

දිග/පළල/ උස: 253.9 x 173.6 x 8.8 mm
අඟල් 10.1 තිරයේ ප්‍රමාණයට දිග පළල උස ගානට තියෙනවා කියන්න පුළුවන්.. ටැබ් එකේ ඝණකමත් පුළුවන් තරම් අඩු කරලා තියෙනවා උපරිමේට තලලා.. ;)


බර : 599 ග්‍රෑම්
බරත් ඉතින් ටැබ් එකේ ප්‍රමාණේ හැටියට සාධාරණයි කියන්න පුළුවන්.. 600ට එකයි අඩු) ;)


තිරය: HD-IPS LCD capacitive touchscreen, 16M colors, 800 x 1280 pixels, 10.1‘‘
මේ ටැබ් එකේ ඩිස්ප්ලේ එකනම් විශිෂ්ටයි කියන්න පුළුවන්.. රෙසලූෂන්, එච්.ඩී, කලර්ස් ඔක්කොම සුපිරි.. කෝර්නින්ග් ගොරිල්ලා ග්ලාස් එක තියෙන හින්දා තිරය සීරෙන ප්‍රමාණයත් අඩුයි.. සැම්සුන්ග් ටැබ් එක්ක සසඳලා බලද්දී මේ ඩිස්ප්ලේ එක සෑහෙන හොඳයි..

මතකය:
Internal: 16GB/32GB / RAM: 1GB / External: upto 32GB
මට ලැබුන මොඩ්ල් එක 16ජීබී වර්ෂන් එක.. රැම් එකත් ප්‍රමාණවත් ඕනෙම වැඩකට.. මෙමරි කාඩ් එකක් ඕනේ නම් දාගන්න පුළුවන් ඉනටර්නල් මෙමරි එක මදි නම්..

කැමරාව:
5Mp/ Autofocus/LED Flash
කැමරාව නම් 5 මෙගා පික්සල් එල්ඊඩී ෆ්ලෑෂ් එක්ක.. මට නම් ප්‍රමාණවත්.. ඉස්සරහා තියෙන සෙකන්ඩරි කැමරාව 1.3 මෙගා පික්සල්.. වීඩියෝ කෝල් එකක් ගන්න හොඳටම ඇති..

ඇන්ඩ්‍රොයිඩ් 3.2 හනීකෝම්බ්
ටැබ් වලටම විශේෂයෙන් ආපු ඇන්ඩ්‍රොයිඩ් හනීකෝම්බ් වර්ෂන් එක තමයි මේ ටැබ් එකේ තියෙන්නේ.. හැබැයි දැන්නම් ඇන්ඩ්‍රොයිඩ් ජෙලි බීන් වර්ෂන් එකත් මේකට එනවා කියලා තමයි ආරංචිය.. ඇමෙරිකාවේ තියෙන ටැබ් වලට දැනටමත් ජෙලි බීන් වර්ෂන් එක මෝටොරෝලා දීලා තියෙනවා.. අපේ පැත්තටත් හෙට අනිද්දට ලැබෙයි..

කෝටෙක්ස් ප්‍රොසෙසර්
Dual-core 1.2 GHz ප්‍රෙසෙසරයක් තමයි මේ ටැබ් එකේ අඩංගු වෙන්නේ.. ගේම් එහෙම ගහන්න කැමති අයට කියාපු ටැබ් එක.. මාත් ගේම් කීපයක් දාලා ගහලා බැලුවා.. සුපිරියට වැඩ..

ටිකක් විතර මිළ නම් වැඩී මේ ටැබ් එකේ.. ඒත් හැබැයි අවශ්‍යතාවයක් තියෙන අයට ලොකු ගාණක් නම් වෙන්නේ නැති වෙයි.. එටිසලාට් එකේ දැන් මේ ටැබ් එක මිළදී ගන්න තියෙනවා නොමිලේ ලැබෙන ඩේටා පැකේජ් එකක් එක්ක පහසු ගෙවීමේ ක්‍රමයට..










Friday, July 6, 2012

අළුතෙන් එන ලේට් නයිට් ඉන්ටර්නෙට් ප්ලෑන්ස්..


පහුගිය සති කීපයේදී ලංකාවේ මොබයිල් ඉන්ටනෙට් සේවා සපයන්නන් අළුත් පැකේජ් කීපයක් අඳුන්වලා දුන්නා තරඟෙට වගේ.. මේ ඔක්කොම ලේට් නයිට් එහෙමත් නැත්තම් මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අඳුන්වලා දුන්නේ.. ඒ රෑ 12.00ත් පාන්දර 6.00ත් අතර කාලෙට.. මේ කාල සීමාව දකිද්දී මට මතක් වෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින් අපි ඩයල්-අප් ඉන්ටර්නෙට් පාවිච්චි කරපු විදිහ..


මුලින්ම මේ ලේට් නයිට් ප්ලෑන්ස් අඳුන්වලා දුන්නේ මොබිටෙල් එකෙන්.. ඩේටා ප්ලෑන්ස් 4ක් මේ විදියට අඳුන්වලා දීලා තියෙනවා.. හැබැයි මේ ප්ලෑන්ස් ඔක්කොම අදාල වෙන්නේ මොබිටෙල් පසුගෙවුම් පැකේජ් වලට විතරයි දැනට.. පහල තියෙන ඇඩ් එකේ වැඩි විස්තර තියෙනවා මේ ගැන..

1GB ඩේටා වලට රු. 50කුත්
3GB ඩේටා වලට රු. 140කුත්
8GB ඩේටා වලට රු. 350කුත්
15GB ඩේටා වලට රු. 600ක් විදිහට තමයි අය කිරීම වෙන්නේ..




ඊළඟට මේ වගේ ලේට් නයිට් ප්ලෑන්ස් දෙකක් අඳුන්වලා දුන්නා හච් එකෙන්.. මේ පැකේජ් දෙක රුපියල් 75ක රීලෝඩ් එකකට 2GB හා රුපියල් 175කට 4GB විදිහටයි දැනට අඳුන්වලා දීලා තියෙන්නේ.. අමතර වාසියක් විදිහට 75 එකට රු.40ක ටෝක් ටයිම් එකකුත් 175 එකට රු. 100ක ටෝක් ටයිම් එකකුත් ලබා දෙනවා..





ඊළඟට ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් තරඟෙට බහින්නේ ඩයලොග් එක කියලයි ආරංචිය.. මේ එන ජුලි 10 වෙනිදා ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් 3ක් අඳුන්වලා දෙන්න ඩයලොග් එක බලාපොරොත්තු වෙනවා.. මොබිටෙල් සහ හච් යන දෙකටම වඩා වැඩි පහසුකම් මේ ප්ලෑන් වල තියෙන බවයි පේන්නේ.. විශේෂයෙන් දවසට රු. 100 ප්ලෑන් එක අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙනවා.. මේ වාසිය අනික් එක ප්ලෑන් එකකවත් දැනට නැති පහසුකමක්.. ඩවුන්ලෝඩ් කරන අයට නම් නියමෙට ගැලපෙන ප්ලෑන් එක.. අනිත් ප්ලෑන්ස් දෙකත් මොබිටෙල්, හච් ප්ලෑන්ස් වලට වඩා සෑහෙන වාසි පාටයි පේන්නේ.. දැනට දැන ගන්න ලැබුනු විදිහට මේ ප්ලෑන්ස් පෙරගෙවුම් හා පසුගෙවුම් යන ඕනෑම ඩයලොග් සම්බන්ධතාවයකට ලබාගන්න පුළුවන් කියලයි ආරංචිය..




සංවර්ධනයත් එක්ක වෙනස් වන මගේ ගම..


පහුගිය සති අන්ත නිවාඩුවට මම ගෙදර ගියා මාසෙකට විතර පස්සේ.. රාජකාරී වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු නිසා ගෙදර යන එක පහුගිය අවුරුද්දක කාලය තුල ගොඩක් අඩුවුනා.. දැන් ටික ටික අධ්‍යාපන කටයුතු ඉවර වෙමින් යන නිසා සති අන්තයේ ගෙදර යන්න අවස්ථාව ලැබෙනවා දිග නිවාඩුවක් වැටුනාම..

දැයට කිරුළත් එක්ක අපේ පැත්ත ඒ කිව්වේ අනුරාධපුරේ ගොඩක් පාරවල් හරි ඉක්මනට නවීකරණය වුනා.. විශේෂයෙන් පාදෙනිය-අනුරාධපුරය පාර.. ඒ දියණුව නිසා ඉස්සර තලාවේ (මගේ ගම) ඉඳලා විනාඩි 30ක් ගියපු ගමනට දැන් යන්නේ විනාඩි 10කටත් අඩු කාලයක් පාරේ බස් එකේ යනවා නම්.. ඉස්සර තිබුනු වලවල් ගොඩැලි කඳු ඔක්කොම කපලා දාලා පාර කාපට් කරලා ලොකු කරලා දැන් තියෙන්නේ..

නමුත් පහුගිය ඉරිදා අනුරාධපුරේ ටවුන් එකට ගිහින් එන ගමනේදී මට ලොකු දුකක් දැනුනා මේ වෙනස ගැන.. ඇත්තම කිව්වොත් මට බස් එකේදී ඇඬුනා මේ වෙනස්කම් දැකලා.. මේ දවස් වල ලොකු පෑවිල්ලක් තියෙනවා අනුරාධපුරේ පැත්තට.. ඒ පෑවිල්ලට ගොඩක් වැව් හිඳිලා හරිම දූවිල්ලයි.. ඉස්සර පාර දෙපැත්තේ තිබුනු මාර, කුඹුක්, මී වගේ රූස්ස ගස් ගොඩක් අද වෙද්දී දකින්න නෑ.. ශ්‍රාවස්තිපුරේ හන්දිය පහු කරන්න ලංවෙද්දී ලොකු වලවල් ටිකක් තිබුනා ඉස්සර.. අපි පුරුදුවෙලා හිටියා ඉක්මනට සීට් එක අල්ලගන්න මේ හරිය පහුවෙද්දී ගැස්සෙන හින්දා.. මට පුරුද්දට වගේ මේ සැරෙත් ඒක වුනා.. ඒත් එහෙම වලක් තියා කිසිම දෙයක් දැනෙන්නේ නැති ගානට පාර දැන් හදලා..



ගල්නෑව බස් එක නම් තාම පරණ විදිහමයි..

තලාවයි ශ්‍රාවස්තිපුරයි අතර ලොකු තේක්ක කැලයක් තියෙනවා.. මේ කැලේ ගොඩක් ලොකුයි.. දැන් පාර දිගටම අලි වැටක් ගහලා මේ කැලේ මායිමට.. ඉස්සර මෙහෙම වැටක් තිබුනේ නෑ.. දැන් දැන් ජනාවාස වැඩි වෙන නිසා අලින්ටත් ඉන්න කන්න බොන්න තැනක් නැතුව ගම් වදිනවා.. තව ටිකක් පහුකරන් එද්දි වනජීවි එකේ අලි පටවන ලොරියකුයි තව වාහන ටිකකුයි මොරගොඩ හරියේ නවත්තලා තියෙනවා දැක්කා.. පස්සේ තමයි දැනගත්තේ මේ ඇවිත් තියෙන්නේ මුංගුලියා කියන තනි අලියාව අල්ලන්න කියලා.. සඳුදා මේ අලියව ඇල්ලුවා කියලා පත්තරේ ටීවී එකේ පෙන්නුවා.. මොරගොඩ හරියට ලංවෙද්දී තියෙනවා තැනක් පුල්ලෙයාර් කන්ද කියලා.. හැම කෙනාම පුරුදු වෙලා හිටියා මේ කන්ද උඩ තියෙන ඝණ දෙවි රූපේ පහුවෙද්දී ඉඳන් ඉන්න තැන් වලින් නැගිටින්න.. ඒත් දැන් ඒ කන්ද කපලා පාත් කරලා.. ඝණ දෙවි පිළිමේ එතන තාම එහෙමම තිබුනත් මිනිස්සු වෙනදා වගේ බස් සීට් එකෙන් නැගිටලා ආචාර කරන්නේ නෑ දැන්.. මේවා දකිද්දි මගේ ඇස් තවත් කඳුලින් බරවුනා..

මෙයා තමයි මුංගුලියා (ඡායාරූපය: ලංකාදීප පුවත්පත)

ඉස්සර තලාවේ හන්දියේ තිබුනු ඔරලෝසු කණුව අයින් කරලා දැන්.. පරණ කඩවල් ගොඩක් කඩලා දාලා.. සමහර පොඩි ලඳු කැලෑ එළිකරලා ඉඩම් කට්ටි කරලා විකුණන්න පටන් අරගෙන.. ඉස්සර අපි තල් ගෙඩි කඩන්ඩ ගිය වත්තත් දැන් කට්ටි කරලා.. එක තල් ගහක් වත් පේන්න නෑ.. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මම බස් එකෙන් හිමීට බැහැලා ගෙදර එන කොට තව සිද්දියක් දැක්කා.. ඒ පාර අයිනේ කලවැද්දෙක් එහෙමත් නැත්තම් වල්බාවෙක් මැරිලා ඉන්න දර්ශණය.. මේ සතා වාහනයක වැදිලා මැරිලා තියෙන්නේ කියලා පේන්න තිබුනා.. පල්ලෙහා තියෙන්නේ ඒ සතාගේ පින්තූරයක්..


කලවැද්දා හෙවත් වල්බාවා

සංවර්ධනයත් එක්ක සිද්ද වෙන මේ සිද්ධි මට දරාගන්න අමාරුයි වගේ එක පාරටම.. ගෙදර ඇවිත් මේ දේවල් මතක් කරකර ගොඩක් ඇඬුවා.. ලෝකේ වෙනස් වෙනවා.. ඒක මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හිත හදාගෙන මම අඬන එක නවත්තලා දැම්මා..

Saturday, June 23, 2012

සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2



මේ මාසේ මුලදී එටිසලාට් ආයතනයෙන් මට අවස්ථාවක් ලැබුනා සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2 එක සති කීපයකට පාවිච්චි කරලා බලන්න.. නියමු වැඩසටහනක් විදිහට ගැජට් ගැන ගුණ දොස් කථා කරන වැඩසටහන් මාළාවක පළමු අංගය විදිහට තමයි මේ අවස්ථාව මට ලැබුනේ..

සැම්සුන්ග් ගැලැක්සි ටැබ් කාණ්ඩයේ අළුතෙන් හඳුන්වා දෙන සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2 එක අඟල් 7 ප්‍රමාණයේ ටැබ් එකක් තමයි මට ලැබුනේ.. මේ ටැබ් එක වර්ග දෙකකින් දැනට වෙළඳපොලේ ගන්න පුළුවන්.. ඒ 8GB, 16GB සහ 32GB විදිහට.. කලින් තිබුනු මාදිලිය එක්ක බලද්දී පහතින් තියෙන වෙනස්කම් විශේෂයෙන් හඳුනාගන්න පුළුවන්..


HSPA+ 21Mbps 850/900/1900/2100
පැරණි මාදිලියේ 7.2Mbps වෙනුවට වැඩිදියුණු කල 21Mbps අන්තර්ජාල සම්බන්ධවීමේ වේගයක් ටැබ් 2 එකට තියෙනවා..


1 GHz Dual-Core Processor
ප්‍රොසෙසර් එකත් පැරණි මාදිලියට වඩා වැඩි වේගයක් සහිත ඩුවල් කෝර් වර්ගයේ ප්‍රොසෙසරයක්..


7” WSVGA (1024x600) PLS TFT
කලින් තිබුනු TFT capacitive touchscreen එක වෙනුවට PLS LCD capacitive touchscreen එකක් මේ මාදිලියේ තියෙනවා..



Android™ 4.0
(Ice Cream Sandwich)
ඇන්ඩ්‍රොයිඩ් අළුත්ම සංස්කරණය වන අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහි මෙහෙයුම් පද්ධතිය වශයෙන් භාවිතා වීමත් විශේෂයි.


Main (Rear) : 3 Megapixel Camera
Sub (Front) : VGA for Video Call

කැමරා යුගලයේ නම් කිසිම වැඩිදියුණුවක් කරලා නෑ අළුත් මාදිලියක් වුනත්..


Bluetooth technology v 3.0
USB 2.0 Host
Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct
Accelerometer, Digital compass, Light
Proximity
ඉහත තියෙන පහසුකම් නම් කලින් මාදිලියෙත් තිබුනා.. ලොකු වෙනසක් මේ පහසුකම් වල වෙලා නෑ..


8 / 16 / 32GB User memory + 1GB (RAM)
microSD (up to 32GB)

අළුත් මාදිලියේ රැම් එක පැරණි එකට වඩා දෙගුණයක් තිබීම වැදගත්.. වැඩි ඇප්ලිකේෂන් ප්‍රමාණයක් එක විට විවෘත කරගන්න අවස්ථාව තියෙනවා මේ පහසුකම නිසා.. ඒ වගේම බාහිර මතකපතක් පාවිච්චි කරන්නත් පුළුවන් අන්තර් මතකයට අමතරව..

Size : 193.7 x 122.4 x 10.5 mm
Weight : 345g
පැරණි මාදිලියට වඩා බරත් මහතත් මේ නව මාදිලියේ අඩු වීම වැදගත්..


Standard battery, Li-ion 4,000 mAh
අළුත් මාදිලියේ බැටරියේ ආයු කාලය සෑහෙන හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්..



පොඩි අඩුපාඩු කීපයක් විදිහට පහත ඒවා මම දැක්කා..

- ඇන්ඩ්‍රොයිඩ් 4.0 වල ඇප්ස් ඉන්ටර්නල් මෙමරි එකෙන් එක්ස්ටර්නල් මෙමරි එකට අයින් කරන්න නොහැකි වීම ඒක අඩුපාඩුවක්.. නමුත් ඉන්ටර්නල් මෙමරි එක 8GB වලට වඩා තියෙන නිසා ගැටළුවක් වෙන්නේ නෑ.. ඒ වගේම ඉදිරියට ඒමට නියමිත ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ වල මේ අඩුපාඩුව මගහරවයි බොහෝදුරට..

- ශබ්දය අඩුවැඩි කිරීමේ බොත්තම් පිහිටලා තියෙන ස්ථානය ටිකක් විතර කරදරයක් වගේ ටැබ් එක අල්ලා ගෙන ඉඳිමේදී.. ඊට ටිකක් පහලින් ටැබ් එක අල්ලන්න පුරුදු වීම අවශ්‍ය වෙනවා මේ නිසා..



වර්තමාන මිළ

දැනට එටිසලාට් ආයතනයෙන් හඳුන්වාදෙන මිළ රු. 67,000/- ක් නොමිලේ මාස 6කට ලැබෙන 2GB පැකේජයත් සමග.. පරණ මාදිලියේ මිළ සමග සන්සන්දනය කරද්දී මෙම මිළ යම්කිසි මට්ටමක සාධාරණයක් තිබෙනවා..





උදිත් නාරායන් !



පහුගිය 16 වෙනි සෙනසුරාදා හවස අහඹු සිද්ධියක් වුනා.. අපේ අක්කාට සිරස රේඩියෝ එකෙන් උදිත් නාරායන් සජීවී සංගීත ප්‍රසංගය බලන්න ටිකට් දෙකක් ඇදිලා තිබුනත් එයාට යන්න වෙන්නෙ නෑ කියලා මට කිව්වා..

මම කොහොමත් හින්දි ගීත වලට ඉස්සර ඉඳලාම ආස නිසා අක්කා කිව්වා මට ටිකට් දෙක ගන්න කියලා.. මේ ප්‍රසංගය බලන්න ටිකට් සල්ලි දීලා හරි අරගෙන යන්න උවමනාව තිබ්බත් ඒ සතියේ විභාග කීපයක් යෙදිලා තිබ්බ නිසා නොයා ඉන්න හිත හදාගෙන හිටියේ.. ඒත් ඉතින් වාසනාවක් කියලා දෙයක් තියෙනවා නම් පස්සෙන් පන්නා ගෙන හරි ඇවිත් ලැබෙනවා කියලා කතාවකුත් තියෙනවානේ.. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වුනේ.. කොහොමහරි ඉතින් ටිකට් දෙක අරගෙන මායි මගේ ඔෆිස් එකේ යාලුවයි එක්ක බලන්න ගියා මගේ බයික් රාජයාගේ උඩ නැගලා CH&FC එකට..

1990 ගණන් වල අති ජනප්‍රිය හින්දි ගායකයෝ දෙන්නෙක් හිටියා.. ඒ තමයි උදිත් නාරායන් සහ කුමාර් සානු.. දෙන්නා තරඟෙට වගේ තමයි චිත්‍රපටි වල සින්දු කිව්වේ.. මොහොමඩ් රාෆි, කිෂෝර් කුමාර්ට පස්සේ හින්දි සිනමාවට බිහිවුනු විශිෂ්ඨම හඬ යුගලක් විදිහට මේ දෙන්නා හඳුන්වන්න පුළුවන්.. මේ අතරින් උදිත් නාරායන්ගේ කටහඬ වෙනස්ම නැවුම් හඬක් විදිහට කා අතරත් අදටත් හොඳ පිළිගැනීමක් තියෙනවා.. උදිත් නාරායන්ගේ අති ජනප්‍රිය පළමු වෙනි පසුබිම් ගායනය විදිහට සටහන් වෙන්නේ කයාමත් සේ කයාමත් තක් චිත්‍රපටියෙන්.. ඒ මෙරේ හම් සෆර්, පාපා කෙහෙතේ හේ.. ගීත ගැයුනේ 1988 කාලේදී.. අමීර් ඛාන් හින්දි සිනමාවට පැමිණි මුල් කාලයත් හින්දි සිනමාවේ හැරුම් ලක්ෂයක් විදිහට සඳහන් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි ඒ.. පසු කාලීනව අනිල් කපූර්, සල්මන් ඛාන්, ආක්ෂේ කුමාර් වගේ නළුවන් රඟපෑ චිත්‍රපටි ජනප්‍රිය වෙන්න උදිත් නාරායන්ගේ පසුබිම් ගීත ගායනය ගොඩක් හේතු වුනා කියන්න පුළුවන්..












විශේෂයෙන් අද ශාරුක් ඛාන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳෙන්නට උදිත් නාරායන්ගේ මියුරු කටහඬ උපයෝගී වුනා කියලා බය නැතුව කියන්න පුළුවන්.. ඩර්, දිල්වාලේ දුල්හනියා ලේ ජායේන්ගේ, කුච් කුච් හෝතා හේ චිත්‍රපටි මේ අතරින් විශේෂයි..












ඉතින් එදා 16 වෙනිදා රැය මගේ ජිවිතේ අමතක නොවන රැයක් කියන්න පුළුවන්.. උදිත් නාරායන් නැමැති මියුරු ගායකයාගේ කටහඬ සජීවීව අහන්නට ලැබීම ලොකු වාසනාවක් මට නම්.. එදා ප්‍රසංගයේ ගයපු පලමුවෙනි ගීතය වීඩියේ කරගන්න පුළුවන් වුනා මගේ ෆෝන් එකට පින්සිද්ද වෙන්න.. ඔන්න ඒකත් තියෙනවා පහලින් බලා ගන්න..


Wednesday, June 20, 2012

පත කැමරාව..





මගේ සිංහල බ්ලොග් කෙරුවාව පහුගිය කාලේ අගලට වැටුනා නොදැනුවත්වම.. ඒ ටික කාලෙදි ජීවිතේ සිද්ධවුන මුණගැහුණ පහුකෙරුණු අතෑරපු විඳපු විඳවපු දේවල් රාසියයි.. ඒ අතරින් එක් වැදගත් දෙයක් තමයි ජීවිතේ පළමුවෙනි ඩී.එස්.එල්.ආර්. කැමරාව මිලදී ගැනීම..

2011 ජූනි මාසේ අග හරියෙදී තමයි මේ කැමරාව මම ගත්තේ.. මගේ හිතවත් මිත්‍රයෙක් පාවිච්චි කල Canon 1000D වර්ගයේ කැමරාවක් ටිකක් විතර අහම්බෙන් වගේ තමයි මට මිළදී ගන්න අවස්ථාව ලැබුනේ.. මේ කැමරාවත් එක්ක 18-55මි.මි කිට් ලෙන්ස් එකත් තව අමතරව 55-250මි.මි සූම් ලෙන්ස් එකකුත් මට ලැබුනා.. මගේ ජීවිතේ හීනයක් වගේ තිබුනු ඩී.එස්.එල්.ආර්. කැමරා සිහිනය ඉතින් කොහොම කොහොම හරි ඔහොම සැබෑ කරගන්න අවස්ථාව ලැබුනා..

දැන් මේ කැමරාව අරගෙන අවුරුද්දකටත් ලං වෙනවා.. වැඩිපුරම ජායාරූප ගත්තේ මගේ රැකියා ස්ථානයේ වැඩ කටයුතු වලට අදාල අවස්ථා කිව්වොත් හරි.. මම කිසිම කැමරාකරණ පන්තියකට හෝ කැමරාකරණය පිළිබඳ ගුරුවරයෙක් ළඟට නම් තාම ගියේ නෑ.. හැබැයි යන්න උවමනාවක් තියෙනවා තවදුරටත් ඉගෙන ගන්න..

හැබැයි මම වැඩිපුරම ඉගෙන ගත්තේ අන්තර්ජාලයේ තියෙන ඡායාරූපකරණ පාඩම් කියවලා... ඕන තරම් පාඩම් වගේම කියලා දෙන්න අයත් අන්තර්ජාලයේ වැහි වැහැලා.. තේරෙන්නෙම නැත්තම් යූටියුබ් එකට ගිහින් උනත් ඉගෙන ගන්න පුළුවන්..

මම ගත්ත ඡායාරූප ෆ්ලිකර් ගිණුමට එකතු කරලා තියෙනවා.. පහලින් ගිහින් ඔන්න බලාගන්න පුළුවන්..

Tuesday, February 14, 2012

සෝනු නිගාම් සජීවීව..




මගේ බ්ලොග් කියවන හුඟක් අය දන්නවා මම හින්දි ගීත රසිකයෙක් කියලා.. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී කියන බ්ලොග් එක.. මෑත කාලයේ බිහිවුනු ඉන්දියානු ගායකයින්ගෙන් මම වඩාත් ප්‍රිය කරන ගායකයෙක් තමයි සෝනු නිගාම් කියන්නේ.. මොහොමඩ් රාෆිලා, උදිත් නාරායන්ලා, කුමාර් සානුලාට පස්සේ කොයි කා අතරෙත් ජනප්‍රිය වුනු ගායකයෙක් තමයි සෝනු නිගාම්.. මේ දක්ෂ ගායකයා මුල් කාලයේ “රාෆි කී යාදීන්“ නමින් ගීත ඇල්බම් කීපයක් කලා.. මොහොමඩ් රාෆිගේ ගීත හරිම මියුරු විදිහට සෝනු ගායනා කරලා තියෙන හැටි පහලින් අහන්න පුළුවන්..




මෑත කාලේ හින්දි නළුවෝ විදිහට හඳුන්වන්න පුළුවන් ශාරුක් ඛාන්, ආමීර් ඛාන්, සල්මන් ඛාන්, හ්රිතික් රෝෂන් වගේ අති ජනප්‍රිය නළුවන් බොහෝමයකගේ චිත්‍රපටි වල පසුබිම් ගායනය කලේ අපේ මේ කථා නායකයා.. හරිම ලයාන්විත ආදරබර මධුර කටහඬක් වගේම වෙනස් වූ ශෛලීන්ට ගීත ගායනා කිරීමේ හැකියාවක් සෝනු නිගාම්ට හිමී.. තාල්, කල් හෝ නා හෝ, කබි කුෂි කබි ගම්, වීර් සාරා, සාතියා, ෆනා, මේ හූන් නා, ඕම් ශාන්ති ඕම්, පරිනීතා, 3 ඉඩියට්ස් වැනි චිත්‍රපටිවල ගීත මේ අතරින් ගොඩක් ජනප්‍රියයි..



සෑහෙන කාලෙක ඉඳලා මම බලාගෙන හිටියා සෝනු නිගාම් සජීවීව ගායනා කරන ප්‍රසංගයක් බලන්න.. ඉතින් ඒ හීනේ මේ 18 වෙනිදා සැබෑ වෙන්නයි යන්නේ.. CH&FC ක්‍රීඩා පිටියේ හවස 6.30 ට තමයි පටන් ගන්නේ..

නොමිලේ ටිකට් ඕනේ අයට මේ ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රහයක් දක්වන ඩයලොග් එකෙන් පොඩි අවස්ථාවක් දීලා තියෙනවා.. පහලින් තියෙන ෆේස්බුක් පේජ් එකට ගිහින් තමන්ගේ විස්තර ඇතුලත් කරලා සබ්මිට් කරන්න.. සමහරවිට නොමිලේම ප්‍රසංගය බලන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්..



Wednesday, February 8, 2012

ලංකාවේ ඔන්ලයින් වෙළඳපොළවල්.. ibuy.lk




ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකේ කප්රුක ත්‍යාග හා පාර්සල් බෙදාහැරීමේ සේවය ගැන පොඩි විමංසනයක් පසුගිය සතියේ මම ලිව්වා.. ලංකාවේ දැනට තියෙන මේ වගේ සේවාවන් තව මොනවද කියලා හොයලා බලන්නත් පොඩ්ඩක් හිතුනා..

ඒ අතරින් ඩයලොග් ආයතනයෙන් ක්‍රියාත්මක වෙන ibuy.lk සේවය විශේෂයි.. දැනට ඉතාමත් ක්‍රියාකාරී මට්ටමේ තිබීමත් මුදල් ගෙවීම පහසු වීමත් ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්න පුළුවන්.. දැනට ලංකාවේ බොහෝ දෙනෙක් ebay වගේ පිටරට ඔන්ලයින් වෙළඳපොලවල් භාවිතා කරනවා.. නමුත් ලංකාවේ තියෙන ඔන්ලයින් වෙළඳපොලවල් හරහා ගණුදෙනු කරන්න ගොඩක් අය එක්කෝ දැනුවත් නෑ නැත්නම් බියක් තියෙනවා..

මේ බිය සැක දුරු කරන්නත් හැමෝම දැනුවත් වෙන්නත් එක්ක ibuy.lk එකේ තියෙන වාසි කීපයක් ගැනත් මේ දවස් වල තියෙන offers කීපයක් ගැනත් කියන්නම්..

1. ජංගම දුරකථනයෙන් ගෙවීමට ඇති හැකියාව
කප්රුක සේවය හා ibuy.lk අතර තියෙන ප්‍රධානතම වෙනස විදිහට ජංගම දුරකථනයෙන් අදාළ භාණ්ඩයට මුදල් ගෙවීමට ඇති හැකියාව සඳහන් කරන්න පුළුවන්. ebay, කප්රුක වැනි සේවා වල ගෙවීම කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීම අනිවාර්යයි. නමුත් ibuy.lk වලදී ඕනෑම ඩයලොග් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සබඳතාවයකින් රු.5000ක් දක්වා මුදල් ගෙවීම කරන්න හැකියාව තියෙනවා.

2. විවිධාකාරයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන එකම තැනකින්
ibuy.lk හීදී විවිධ වෙළඳ ආයතන එකම තැනකට ගොනු කර තිබීම තවත් සුවිශේෂීත්වයක්. මේ නිසා එක් එක් ආයතන වල මිළ සසඳලා බලලා භාණ්ඩ මිළදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා.

3. ලබන්නාගේ දොරකඩටම භාණ්ඩ බෙදාහැරීම
අදාළ පුද්ගලයා (ලබන්නා) ලංකාවේ කොහේ සිටියත් එම පුද්ගලයාගේ ලිපිනයටම අදාළ භාණ්ඩය බාරදීම සිදුකිරීම තවත් සුවිශේෂීත්වයක්. සංසන්දනාත්මකව බැලීමේදී මේ සඳහා අය කරනු ලබන ගාස්තුත් ඉතාම සාධාරණයි.

පෙබරවාරි 14 වෙන දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනය මුල් කරගෙන හොඳ offers කීපයක් හඳුන්වලා දීලා තියෙනවා දැක්කා.. තමන්ගේ ආදරවන්තිය/ ආදරවන්තයා ටිකක් පුදුම කරවන විදිහේ වැඩක් කරන්න හිතෙනවා නම් පොඩි උත්සාහයක් කරලා බලන්න පුළුවන්.. අතටම ගිහින් දෙන නිසා surprise ගතියත් වැඩී.. පහල තියෙන offers ටික තමයි දැනට දැක්කේ.. තව දැනගන්න ලැබුනොත් දාන්නම්..



එකල දඹදිව ලව් ස්ටෝරි: කුස-පබා..







ඔන්න සෑහෙන සෑහෙන සෑ...හෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා.. පහුගියේ ටිකේ මගේ වාසදේසෙත් එහෙට මෙහෙට වුනා.. අන්තර්ජාලයට දෙයක් එකතු කලා නම් ඒ වැඩිපුරම කලේ ට්වීටරේට.. තව මෑතකදී ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා..

ඉතින් පහුගිය සති අන්තේ අනුරාධපුරේ ගියපු වෙලේ ගෙදර අයත් එක්කගෙන ගියා “කුස-පබා“ බලන්න.. අනුරාධපුරේ සිනෙස්ටාර් හෝල් එකේ තමයි මේ චිත්‍රපටිය තිරගතවුනේ.. ආහ් තව කාරණයක් කියන්න අමතක වුනා.. දැන් සිනමාහල් තුනක් අනුරාධපුරේට තියෙනවා.. ඒ තමයි ඉස්සර කැලෑ විජේන්ද්‍රා කියපු හෝල් එක “නිව් විජේන්ද්‍රා“ නමිනුත් ඊ.ඒ.පී. මණ්ඩලයේ “සිනෙස්ටාර්“ හෝල් එකත් ලංකාවේ හොඳම සිනමාහල් 10ට අයිති වෙනවා කියන්න පුළුවන් වායුසමනය කල ඩීටීඑස් ශබ්ද තාක්ෂණය අඩංගු “විල්සිටි“ සිනමාහලත්..

කුස-පබා චිත්‍රපටිය මේ දවස් වල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල් සියල්ලේම තිරගත වෙනවා.. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් තියනවා කියලයි ආරංචිය.. කොහොම වුනත් පහුගිය කාලේ බිහිවුන අබා, මහින්දාගමනය වගේ චිත්‍රපටි එක්ක සසඳලා බලද්දී සෑහෙන ප්‍රමිතියකට කුස-පබා නිෂ්පාදනය කරලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්..

මහින්දාගමනයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරරචනයේ ඉඳලා අංග රචනය දක්වාම අවුල් ගොඩක් දැක්කා.. පසුතල නිර්මාණයේදී තමයි ඒ අඩුපාඩු සෑහෙන්න පෙනුනේ.. තෝරාගත් නළු නිළියන්, දෙබස් හා රංගනයෙත් පොඩි පොඩි අඩු පාඩු තිබ්බේ නැතුවම නෙමෙයි.. ඉතින් කුස-පබා එකේ තිර රචනය හා දෙබස් ඒ අතින් බලපුවාම විශිෂ්ඨයි කියන්න පුළුවන්.. අප අතරේ දැන් නැති ආචාර්ය තිස්ස අබේසේකර මහත්තයා තමයි මේ තිර රචනය කරලා තියෙන්නේ.. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගේ උපරිමයෙන් තමන්ගේ අධ්‍යක්ෂණ කාර්යභාර්යය මේ වගේ කථා තේමාවකට පණ දෙන්න යොදාගෙන තියෙනවා කියන්න පුළුවන්.. මොකද මේ කථාව ඉන්දියානු රාජවාංශික කථා තේමාවක් ගැන කියවෙන එකක් නිසා හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි..

විශේෂයෙන්ම රේණුකා බාලසූරිය මේ චිත්‍රපටියේ නිෂ්පාදන කාර්යය මනාවට කරලා තියෙනවා කියන්න පුළුවන්.. ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණය ඒ අතරින් සුවිශේෂයි..

පොඩි පොඩි ගොන් පාට් ටිකක් මේ චිත්‍රපටියෙත් නැතුවාම නෙමෙයි.. එත් ඉතින් මම නම් හිත හදා ගත්තා මේ සිංහල සිනමාවනේ කියලා..

මම දැක්ක හොඳම කාරණේ තමයි මේකේ එන ලව් ස්ටෝරි එක.. හින්දි සිනමාවෙවත් මේ තරම් ලස්සන ස්ටෝරි නෑ මගේ හිතේ.. පන්සිය පනස් ජාතකේම ඉස්සරහට මේ වගේ ලව් ස්ටෝරි කරයිද දන්නේ නෑ.. ඊළඟට ගහනවා නම් හොඳම එක තමයි සඳ කිඳුරු ජාතකේ.. මරු ලව් ස්ටෝරි එකක් ඒකත් මේ වගේම.. ටයිටැනික්, කුච් කුච් හෝතා හේ කැලේ.. :P

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009