Friday, July 6, 2012

සංවර්ධනයත් එක්ක වෙනස් වන මගේ ගම..


පහුගිය සති අන්ත නිවාඩුවට මම ගෙදර ගියා මාසෙකට විතර පස්සේ.. රාජකාරී වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු නිසා ගෙදර යන එක පහුගිය අවුරුද්දක කාලය තුල ගොඩක් අඩුවුනා.. දැන් ටික ටික අධ්‍යාපන කටයුතු ඉවර වෙමින් යන නිසා සති අන්තයේ ගෙදර යන්න අවස්ථාව ලැබෙනවා දිග නිවාඩුවක් වැටුනාම..

දැයට කිරුළත් එක්ක අපේ පැත්ත ඒ කිව්වේ අනුරාධපුරේ ගොඩක් පාරවල් හරි ඉක්මනට නවීකරණය වුනා.. විශේෂයෙන් පාදෙනිය-අනුරාධපුරය පාර.. ඒ දියණුව නිසා ඉස්සර තලාවේ (මගේ ගම) ඉඳලා විනාඩි 30ක් ගියපු ගමනට දැන් යන්නේ විනාඩි 10කටත් අඩු කාලයක් පාරේ බස් එකේ යනවා නම්.. ඉස්සර තිබුනු වලවල් ගොඩැලි කඳු ඔක්කොම කපලා දාලා පාර කාපට් කරලා ලොකු කරලා දැන් තියෙන්නේ..

නමුත් පහුගිය ඉරිදා අනුරාධපුරේ ටවුන් එකට ගිහින් එන ගමනේදී මට ලොකු දුකක් දැනුනා මේ වෙනස ගැන.. ඇත්තම කිව්වොත් මට බස් එකේදී ඇඬුනා මේ වෙනස්කම් දැකලා.. මේ දවස් වල ලොකු පෑවිල්ලක් තියෙනවා අනුරාධපුරේ පැත්තට.. ඒ පෑවිල්ලට ගොඩක් වැව් හිඳිලා හරිම දූවිල්ලයි.. ඉස්සර පාර දෙපැත්තේ තිබුනු මාර, කුඹුක්, මී වගේ රූස්ස ගස් ගොඩක් අද වෙද්දී දකින්න නෑ.. ශ්‍රාවස්තිපුරේ හන්දිය පහු කරන්න ලංවෙද්දී ලොකු වලවල් ටිකක් තිබුනා ඉස්සර.. අපි පුරුදුවෙලා හිටියා ඉක්මනට සීට් එක අල්ලගන්න මේ හරිය පහුවෙද්දී ගැස්සෙන හින්දා.. මට පුරුද්දට වගේ මේ සැරෙත් ඒක වුනා.. ඒත් එහෙම වලක් තියා කිසිම දෙයක් දැනෙන්නේ නැති ගානට පාර දැන් හදලා..



ගල්නෑව බස් එක නම් තාම පරණ විදිහමයි..

තලාවයි ශ්‍රාවස්තිපුරයි අතර ලොකු තේක්ක කැලයක් තියෙනවා.. මේ කැලේ ගොඩක් ලොකුයි.. දැන් පාර දිගටම අලි වැටක් ගහලා මේ කැලේ මායිමට.. ඉස්සර මෙහෙම වැටක් තිබුනේ නෑ.. දැන් දැන් ජනාවාස වැඩි වෙන නිසා අලින්ටත් ඉන්න කන්න බොන්න තැනක් නැතුව ගම් වදිනවා.. තව ටිකක් පහුකරන් එද්දි වනජීවි එකේ අලි පටවන ලොරියකුයි තව වාහන ටිකකුයි මොරගොඩ හරියේ නවත්තලා තියෙනවා දැක්කා.. පස්සේ තමයි දැනගත්තේ මේ ඇවිත් තියෙන්නේ මුංගුලියා කියන තනි අලියාව අල්ලන්න කියලා.. සඳුදා මේ අලියව ඇල්ලුවා කියලා පත්තරේ ටීවී එකේ පෙන්නුවා.. මොරගොඩ හරියට ලංවෙද්දී තියෙනවා තැනක් පුල්ලෙයාර් කන්ද කියලා.. හැම කෙනාම පුරුදු වෙලා හිටියා මේ කන්ද උඩ තියෙන ඝණ දෙවි රූපේ පහුවෙද්දී ඉඳන් ඉන්න තැන් වලින් නැගිටින්න.. ඒත් දැන් ඒ කන්ද කපලා පාත් කරලා.. ඝණ දෙවි පිළිමේ එතන තාම එහෙමම තිබුනත් මිනිස්සු වෙනදා වගේ බස් සීට් එකෙන් නැගිටලා ආචාර කරන්නේ නෑ දැන්.. මේවා දකිද්දි මගේ ඇස් තවත් කඳුලින් බරවුනා..

මෙයා තමයි මුංගුලියා (ඡායාරූපය: ලංකාදීප පුවත්පත)

ඉස්සර තලාවේ හන්දියේ තිබුනු ඔරලෝසු කණුව අයින් කරලා දැන්.. පරණ කඩවල් ගොඩක් කඩලා දාලා.. සමහර පොඩි ලඳු කැලෑ එළිකරලා ඉඩම් කට්ටි කරලා විකුණන්න පටන් අරගෙන.. ඉස්සර අපි තල් ගෙඩි කඩන්ඩ ගිය වත්තත් දැන් කට්ටි කරලා.. එක තල් ගහක් වත් පේන්න නෑ.. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මම බස් එකෙන් හිමීට බැහැලා ගෙදර එන කොට තව සිද්දියක් දැක්කා.. ඒ පාර අයිනේ කලවැද්දෙක් එහෙමත් නැත්තම් වල්බාවෙක් මැරිලා ඉන්න දර්ශණය.. මේ සතා වාහනයක වැදිලා මැරිලා තියෙන්නේ කියලා පේන්න තිබුනා.. පල්ලෙහා තියෙන්නේ ඒ සතාගේ පින්තූරයක්..


කලවැද්දා හෙවත් වල්බාවා

සංවර්ධනයත් එක්ක සිද්ද වෙන මේ සිද්ධි මට දරාගන්න අමාරුයි වගේ එක පාරටම.. ගෙදර ඇවිත් මේ දේවල් මතක් කරකර ගොඩක් ඇඬුවා.. ලෝකේ වෙනස් වෙනවා.. ඒක මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හිත හදාගෙන මම අඬන එක නවත්තලා දැම්මා..

3 අදහස්:

Unknown on July 7, 2012 at 1:13 PM said...

Nice post. Even Lord Buddha said "Change is inevitable"...

චින්තක අනුරාධ on July 7, 2012 at 1:51 PM said...

උදාර,මට මේක කියවද්දි මතක් වුනේ කව්රැවත් නෑ...කව්රැවත් නෑ..එගොඩට යන්නට එගොඩට යන්නට එගොඩට යන්නට, සිංදුව,කාලය මවන වෙනස අපිට මැදිහත්ව දරාගන්න වෙනවා.

Buru Babe on July 8, 2012 at 7:02 PM said...

මටත් මේ ප්‍රශ්නේ තදින් දැනෙනවා වෙලාවකට. ඉස්සර ගමේ යද්දි මාත් කඳු, වලවල්, වංගු, දිය ඇලි කැලෑ මැද්දෙන් අමුතු සුන්දරත්වයක් විඳිමින් ගෙදර ගියා.
ඒ කාලේ අපෝ මෙහේ මොබයිල් එකවත් වැඩ කරන්නෙ නෑ කියලා නහයෙන් චුරු චුරු ගෑවා.
අර පහසුකම් නෑ මේව නෑ කියලා ගෙදර යන එක අඩු කරන්න වගේ හිටියේ.

ඒත් දැන් එහෙම නෑ. කොළඹ ඉඳන් එකම වේගෙට බලංගොඩට යනකම් යන්න පුළුවන්. ඉස්සර වගේ බලන්න දේවලුත් දැන් නෑ. ඒ වෙනුවට ආටිෆිශල් කෝටියක් දේවල් පාර පුරා. අර සුපර් මාකට් මේ හොටෙල් නැති එකක් නෑ. ඒත් මට ඉස්සර වගේම කුරුවිට හරියට යද්දි ප්ලේන්ටී එකක් බොන්න ඕන වෙනවා. ඒත් ඉස්සර එතන තිබ්බ අර නිශ්කලංක තේ කඩේත් දැන් නෑ.
ඒ වෙලාවට හිතෙනවා අපි මහ ලොකුවට ස\වර්ධනේ ගැන හිතුවට මේ වෙනස්කම් වලට හැඩ ගැහෙන්න බැරි මොක්කුද වගෙ කියලා.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009