ඔන්න කාලෙකින් ටිකක් දිග බ්ලොග් ලිපියක් ලියන්න යන්නේ... පහුගිය ටිකේ කණ ගාවට වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා හරි හමන් යමක් ලියා ගන්න බැරිවුනා.. තාමත් ඉතින් එහෙම තමයි.. අනේ මන්දා මගේ වැඩ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.. මං මැරෙන දවසක තමයි ඉතින්..
මේ මාසේ මුළ මට ඉන්දියාවේ යන්න සිද්ධ වුනා රාජකාරී වැඩ කීපයකට... මේ මං ඉන්දියාවට ගියපු දෙවනි වතාව... මගේ ටුයිටරේයි මූණුපොතෙයි යාළුවො නම් දන්නවා ඉතින් ඒ ගැන... මුල්ම දවස් කීපයේ අපි හිටපු හෝටලයෙන් එළියට බැහැගන්න බැරි තරමට වැඩ තිබුනා... පියර්ලස් ඉන් කියන හෝටලේ දහ වෙනි තට්ටුවේ තමයි කාමරේ තිබ්බේ.. ඔන්න ඔය පල්ලෙහායින් තියෙන්නේ ඒ කාමරේ ජනේලේ ඉඳලා ගත්ත ෆොටෝ එකක්... ඉතින් නොවැම්බර් 9 වෙනිදා තමයි වැඩ වලින් නිදහස් වුනේ... ඊටපස්සේ දවස් කීපය ගත කලේ මගේ යාළුවෙකුගේ ගෙදරක... ඒ කල්කටා ටවුන් එකේ බාග්බසාර් කියන හරියේ... ඒක තට්ටු නිවාසයක්... ඊට එහා පැත්තේ තිබුනේ සුවිශාල ගංගා නදිය.. ටිකක් කාර්යබහුල පැත්තක් වුනාට හිතට ඇල්ලුවා...

හරියටම කිව්වොත් මං ගියේ ඉන්දියාවේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයට... කවුරුත් දන්නවා හැබැයි කල්කටා කිව්වාම නම්... ෂාරුක් ඛාන්ලා රාණි මුඛර්ජිලාගේ උපන් ගම් එහෙනේ... දැනට මාස කීපයකට කලින් මේ ප්‍රාන්තයට එහා පැත්තෙ තියෙන රටටත් මට යන්න අවස්ථාවක් ලැබුනා.. ඒ බංගලාදේශය.. ඉස්සර, ඒ කිව්වේ 1947 අගෝස්තු වල තමයි ඉන්දියාවයි පාකිස්ථානයයි නිදහස් රටවල් දෙකක් බවට පත්‍වුනේ.. ඒත් ඒ වෙනකොට බංගලාදේශය කියලා වෙනම නිදහස් රටක් තිබ්ලා නෑ.. බංගලාදේශයට එදා කියලා තියෙන්නේ නැගෙනහිර පාකිස්ථානය කියලා.. 1971 දෙසැම්බර් 16 වෙනිදා තමයි බංගලාදේශය නිදහස් රටක් විදිහට වෙන්වෙලා තියෙන්නේ.. ඉතින් බංගලාදේශයයි ඉන්දියාවයි වෙන්වෙන්නේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයෙන්.. මේ ප්‍රාන්තයේ අගනුවර තමයි කල්කටාව කියන්නේ.. ඇත්තටම කල්කටාව කියන්නේ ඉංග්‍රීසි පාලන සමයේ ඒ කියන්නේ 1947ට පෙර තිබුනු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රධානතම බලකොටුව... ගංගා නදිය මුහුදට එකතුවෙන්නෙත් මෙන්න මේ කල්කටා නුවරින්... කල්කටා වල තියෙනවා වික්ටෝරියා අනුස්මරණ ශාලාව කියලා එකක්.. ඒක ටිකක් විතර ටජ්මහල් වගේ.. එන්ගලන්තේ වික්ටෝරියා රැජිණ අනුස්මරණයට 1906 දී රැජිණගේ මුණුපුරා වන වේල්ස් කුමාරයා විසින් තමයි මේ අනුස්මරණ ශාලාව හදන්න මුල්ගල තියලා තියෙන්නේ.. 1921 දී තමයි මහජනතාවට විවෘත කරලා තියෙන්නේ කොහොමහරි.. හරිම ලස්සන තැනක්... ඔන්න පල්ලෙහා තියෙනවා ෆොටෝ ටිකක් බලන්න... කල්කටාවට ගියොත් වික්ටෝරියා අනුස්මරණ ශාලාව බලන්නත් අමතක කරන්න එපා ඔන්න...


ඊළඟ දවසේ අපි ගියා කල්කටා කටුගෙයට... අපේ කටුගේ හැඩයම තමයි... ඒ වුනාට ටවුන් එක මැද තියෙන නිසා ටිකක් කලබලකාරී... මේකේ ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නෑ.. ඒ වුනාට මං ෆෝටෝ කීපයක් ගත්තා... :) මං දැක්ක විශේෂතම දේ තමයි ඇත්ත ඊජිප්තු මමියක් බලාගන්න පුළුවන් වෙච්ච එක.. ඒත් ෆෝටෝ එකක් නම් ගන්න බැරිවුනා...


එදාම අපි ගියා කල්කටා වල තියෙන ග්‍රහලෝකාගාරයට.. මං ලංකාවේ එකටවත් තාම ගිහිල්ලා නෑ.. (ලැජ්ජාවේ බෑ) ඒ වුනාට වෙලාවට මේ ග්‍රහලෝකාගාරය බලාගන්න ලැබුනා... හින්දි බෙංගාලි ඉංග්‍රිසී භාෂා වලින් දර්ශණ වාර පවත්වනවා... අපි ගියපු වෙලාවේ වාසනාවට වගේ ඉංග්‍රීසි දර්ශණය තිබ්බේ... මේ ග්‍රහලෝකාගාරය ආසියාවේ විශාලතම ග්‍රහලෝකාගාරය කියලා විස්තර දැනගන්න ලැබුනා... මෙන්න මෙතනින්
එම්. පී. බිර්ලා ග්‍රහලෝකාගාරය ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්...
මේ තියෙන්නේ එම්. පී. බිර්ලා ග්රහලෝකාගාරයආහ් මට කියන්න අමතක වුනා... අපි මුල් දවස් කීපය හිටපු හෝටලය තියෙන්නේ කල්කටා වල සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වන ඊඩන් ගාඩ්න් ආසන්නයේ.. මං දවසක් රෑ කෑමට හෝටලේ භෝජනාගාරයට යද්දී දැකල පුරුදු කෙනෙක් මුණ ගැහුණා... ඒ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ඊර්ෆාන් පතන්... එයාගේ අයියා යූසුෆ් පතනුත් මං එන්න ටිකකට කලින් ඇවිත් තියෙනවා... ඊර්ෆාන්ගේ නංගියි පෙම්වතියයි එක්ක තමයි ඇවිත් හිටියේ.. මං ටිකක් වෙලා කථා කරලා අතේ තිබ්බ ෆොන් එකෙන් ෆොටෝ එකකුත් ගත්තා... කියන්න බලන්න කවුද වැඩියෙන්ම ගති කියලා.. ? :)

අර ඈතින් කණු 4ක් පේන්නේ ඊඩ්න් ගාඩ්න් (Eden Garden) ක්‍රීඩා පිටිය...

කවුද handsome ? :D
ඔන්න අවසාන දවස් කීපයේ ටිකක් නගරයෙන් ඈතට යන්න හිතුවා.. ගොඩක් අය දන්න කියන රබින්ද්‍රනාත් තාගෝර් මැතිතුමාගේ ශාන්ති නිකේතන් වලට තමයි ඊළඟට ගියේ... කලින් ඉඳලා සැලසුම් කරගෙන හිටිපු නිසා දවස් දෙකක් ඉන්න බලාගෙන ගියා... මගේ යාළු මිතුරිය ශාන්ති නිකේතන් අවටින් නිස්කලංක නවාතැනකුත් කථාකරලා තිබුන නිසා ලේසි වුනා... කල්කටා නගරයේ ඉඳලා කිලෝ මීටර් 250ක් විතර ඈතින් තියෙන බෝල්පූර් කියන ප්‍රදේශයේ තමයි ශාන්ති නිකේතන් පිහිටලා තියෙන්නේ... හැමෝම දන්නවා ඇති නේද ශාන්ති නිකේතන් කියන්නේ එක්තරා විදිහක විශ්ව විද්‍යාලයක් කියලා... සාහිත්‍ය කලා විශයන් වලට තමයි මේ විශ්ව විද්‍යාලය ප්‍රසිද්ධ... රබින්ද්‍රනාත් තාගෝර් තුමා 1913 දී තමයි මේක විශ්ව විද්‍යාලයක් විදිහට පටන් අරන් තියෙන්නේ.. ඉන්දිරා ගාන්ධී, සත්‍යජිත් රායි වගේ දැවන්තයින් මේ සරසවියෙන් තමයි ඉගෙනුම ලබලා තියෙන්නේ... දැනටත් රටවල් ගණනාවකින් ආපු සිසු සිසුවියෝ මෙහෙ අධ්‍යාපනය ලබනවා..

ශාන්ති නිකේතන් සරසවියට ඇතුළුවීම...

රබින්ද්‍රනාත් තාගෝර් මැතුතුමාගේ පිළිරුවක්...

ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි

ශාන්ති නිකේතන් ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට...

සරසවි භූමියේ ඇති කලා නිර්මාණයක්...

ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි...
අපි ටිකක් මේ සරසවි භූමියේ ඇවිදිද්දී අපිට හම්බුනා ගැමි ගී කිය කිය ඇවිදින මිනිස්සු දෙන්නෙක්.. කෙලින්ම සල්ලි ඉල්ලන්නේ නැතිව ගීත කියලා ජීවත්වෙන ශ්‍රමණයෝ වගේ පිරිසක්... අමුතුම ලස්සනකුත් හරිම සමීප බවකුත් ඒ කියපු ගීත වලින් මට දැනුනා.. ටික ටික හවස් වෙලා කළුවර වැටෙනකම්ම අපි ශාන්ති නිකේතන් සරසවියේ ඇවිද්දා...

ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...
ඊළඟ දවසේ අපි ගියා ටිකක් ෂොපින් පාරක් දාන්න.. ඒ බෝල්පූර් ප්‍රදේශයේම හදන බඩු භාණ්ඩ කීපයක් මිළදී ගත්තා.. හරි ලස්සන බෑග් කීපයක්ම ගත්තා යාළුවොන්ට බෙදන්න... දැන්නම් ඉලන්න එපා ඔන්න... :) ඒවායේ කෑලිත් නෑ දැන්... ආහ් මෙතනදිත් අර වගේ සින්දු කියන ශ්‍රමණයෝ හමුවුනා... ගීත 3ක් 4ක් අපි ඇහුවා.. ග්‍රාමීය බෙංගාලි භාෂාවෙන් තමයි මේ ගී පද ගැයුනේ.. ඒ ගීතත් අහලා අපි ආයෙත් කල්කටා වලට යන්න පිටත් වුනා... හවස් වෙද්දී කල්කටා වලට ඇවිත් සංගීත භාණ්ඩ විකුණන පරණ කඩේකට ගියා.. එතනින් මගේ ඉන්දියානු මිතුරිය මට සංගීත භාණ්ඩයක් තෑග්ගක් විදිහට අරං දුන්නා.. පල්ලෙහා තියෙනවා ඒ ෆොටෝ එකත්... ඉතින් ඊළඟ දවසේ අපි ආපහු ගමරට බලා ආවා...

තවත් ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...

මේ නම් ඉන්නේ ගී කියන ශ්‍රමණයෙක් නෙමෙයි ඔන්න.. :)

ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...

සංගීත භාණ්ඩ සාප්පුවේදී...

ලැබුණු තෑග්ගක්...
කල්කටා වල ඉඳලා ලංකාවට ඍජු ගුවන් සේවා නැති හින්දා චෙන්නායි හරහා තමයි යන්න වුනේ.. චෙන්නායි වලත් ඉතින් පොඩ්ඩක් රවුම් ගැහුවා... කියන්න තරම් දෙයක් නෑ ඉතින්... ෂොපින් තමයි අතේ සතේ හිඳෙනකම්... :)

කල්කටා නුවරට ඉහළින්...

වළාකුළු වලටත් උඩින්...