Sunday, January 3, 2010

අළුත් අවුරුද්දයි.. අළුත් ලැප්ටොප් එකයි.. අළුත් කැමරාවයි..


අළුත් අවුරුද්දක්... අළුත් ලැප්ටොප් එකක්... අළුත් මෙහෙයුම් පද්ධතියක්... අළුත් ඩිජිටල් කැමරාවක්.. එක්ක අළුත් වුන පරණ මං..



මඩකලපුවට ගිහිං ඇවිත් දවසකට පස්සේ ඔන්න මං කොළොම්පුරයට ආවා බඩු වගයක් ගන්න.. බඩු කිව්වේ ලැප්ටොප් එකකුයි ඩිජිටල් කැමරාවකුයි ගන්න.. මගේ පුද්ගලික වියදමට නෙමෙයි, ඔෆිස් එකේ වැඩකටයුතු වලට ඔෆිස් එකේ වියදමට.. ඒ වුනාට මගේ රාජකාරී වැඩ වලට පාවිච්චියට තමයි මේක ගත්තේ.. මගේ පරණ පුද්ගලික ලැප රාජකාරී වැඩම කරලා ලෙඩ වුනා.. ඒත් ඒක කොහොම කොහම හරි හදා ගත්තා.. ඒකේ කතන්දරේ වෙනම ලිපියක් ලියන්න වටින කථාවක්.. පස්සේ දාන්නම්..

ඔන්න මං සති ගානක් බලලා බලලා හිත ගියේ ඒසර් ලැප්ටොප් එකකට... ගානත් පහසුයි... අවශ්‍ය සියළුම අංගෝපාංග වලින් පරිපූර්ණ වෙලා තියෙන හින්දා දුක නැතුව ගත්තා.. මේ ලැප්ටොප් එකේ විස්තර මෙන්න මෙහෙමයි..



Acer Aspire 5738

Intel Core 2 Duo 2.2Ghz
Intel GMA 4500MHD VGA
15.6" HD LCD
2GB RAM
320 GB HDD
DVD Super Multi DL Drive
802.11b/g/n wireless
Crystal Eye Webcam
Bluetooth 2.1+EDR
Fingerprint reader
Card Reader
4 USB Ports

මේ ලැප් එකට රුපියල් 89,900ක් වුනා.. මෙට්‍රෝපොලිටන් එකෙන් තමයි ගත්තේ.. අවුරුද්දක ජාත්‍යාන්තර වගකීමක් තියෙනවා.. නොමිලේ Kaspersky Internet Security 2010 හම්බුනා... වෙනමම තමයි මෙහෙයුම් පද්ධතිය ගත්තේ... හැමදාම හොර ඒවා දාන හින්දා මේ පාර නියම ජෙනුයින් වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් ගත්තා... ඒක ගත්තේ බාක්ලේස් එකෙන් රු. 13,300කට.. මේකේ 32බිටු පිටපතයි 64බිටු පිටපතයි දෙකේම ඩීවීඩී තියෙනවා... මේ ගත්ත ලැප් එකේ රැම් එක ටිකක් මදි හින්දා මං දැම්මේ 32බිටු එක.. පස්සේ දවසක රැම් වැඩි කරලා එහෙම 64 බිටු දාලා බලනවා...






ඩිජිටල් කැමරාවකුත් ගත්තා.. සෝනි සයිබර්ෂොට් W180 කියන කැමරාව තමයි ගත්තේ... 10.1 Mega Pixel තියෙන මේ කැමරාවේ 3X optical zoom තියෙනවා.. පොඩි පොඩි වැඩ වලට කියාපු කැමරාව.. රු.22,000ක් වගේ අඩු මුදලකට ගන්න පුළුවන් වොරන්ටි නැතුව... Face Detection, Smile Shutter, steadyshot වගේ පහසුකමුත් තියෙනවා.. ඔන්න පල්ලෙහා තියෙනවා ඒ කැමරා මාදිලියේ පින්තූර දෙකකුත්...



Saturday, January 2, 2010

මඩකලපුවට ගිය දෙවනි ගමන...


ඔන්න ඉතින් මුලින්ම සියළුම සිංහල බ්ලොග්කරුවන් ඇතුළු රජරට පුත්‍රයාගේ බ්ලොග කියවන සියළු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

මේ අවුරුද්දේ ලියන පළමුවෙනි බ්ලොග් ලිපිය තමයි මේ.. කියන්න දේවල් නම් ගොඩායි.. පහුගිය දවස් වල සෑහෙන දේවල් ගොඩක් නම් කලා.. ඒ ගමන් මඩකලපුව පැත්තට ජයග්‍රාහී දෙවන වතාවටත් යන්න අවස්ථාවත් ලැබුනා... (පළමු ගමනේ ලිපිය) ඒ වගේම රාජකාරී වැඩ වලට ඉස්සරහට දිගටම ඒ පැත්තේ කරක් ගහන්නත් වෙනවා... අපේ මධුරංග අයියත් ඒ පැත්තේ ඒ දවස් වල ගියා කියලත් ආරංචි වුනා.. ඒත් එතකොට පරක්කු වැඩි.. කොහොමහරි අපි දෙන්නට මේ පාරත් මුණගැහෙන්න බැරි වුනා..


26 වෙනිදා පොලොන්නරුව මාමිණියා වැව ළගින් යද්දී...


හ්ම්.. හරි.. එහෙනං මුලක ඉඳලා පටන් ගමුකෝ... මඩකලපුවේ දවස් තුනක රාජකාරී ගමනකට ගියේ.. ආහ් කවුරුවත් දන්නවද "මොණරතැන්න" කොහෙද තියෙන්නේ කියලා? ඔය කට්ටිය කථාවට කියන්නේ අපි නොදන්න මොණරතැන්න කියලා.. ඒ වුනාට ගොඩක් අය දන්නේ නෑනේ.. මට ගියපාර කියන්න බැරි වුනා.. මේ "මොණරතැන්න" කියන ගම තියෙන්නේ වැලිකන්ද පහුකරලා යනකොට.. පොඩි ගමක්.. පොලොන්නරුව-මඩකලපුව ප්‍රධාන පාරේ යනකොට ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා හැරෙන්න.. ඔන්න ඒ පැත්තේ ගියපු වෙලාවක බලන්න මතක් කරලා.. ඔන්න ඉතින් මං යන්න කලින් දවස් වල ඒ පැත්තට බරටම වැහැලා... වතුර ටික ටික බැහැගෙන යනවා.. වාකරේ හන්දියට යනකං පාර අති විශිෂ්ඨයි... එතනිං එහාට තමයි ප්‍රශ්ණේ.. පොලොන්නරුවේ ඉඳන් වාකරේ හන්දියට තියෙන කිලෝ මීටර් 68ත් හරි එතන ඉඳං මඩකලපුව ටවුන් එකට තියෙන කිලෝ මීටර් 39ත් හරි.. හැබැයි ඉක්මන්ටම ඒ ටිකත් හදයි.. මේ හිටපු දවස් තුනේම මගේ ප්‍රියතම කෑමක් වන ඉස්සෝ හැම වේලටම කන්න ලැබුනා.. අපේ බොස් පවා දන්නවා මං සී ෆුඩ්ස් වලට ආසයි කියලා.. ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ තමයි ඉතිං ! ගියපාර නැගෙනහිර ගියපු වෙලාවේ දාපු බ්ලොග් ලිපියේ මේවා කියන්න බැරි වුනානේ..

අම්පාර දිස්ත්‍රික්කය පැත්තටත් පොඩ්ඩක් විතර ගියා.. කල්මුනේ, අක්කරෛපත්තු පාරේ ඔළුවිල් නගරය හරියට යනකම් විතර ගියා.. ලස්සනේ බෑ පාර දෙපැත්තේ ඔක්කොම කුඹුරු වගා කරලා.. පේන තෙක් මානෙට බණ්ඩි ගොයම.. කොළම කොළ පාටයි... හරිම සරුවට හැදිලා.. අවුරුදු ගාණකින් තමයි මේ වගා කරන්න පටන් අරං තියෙන්නේ.. යුද්දේ ඉවර වුනාට පස්සේ මහපොළවටත් පණ ඇවිල්ලා වගේ පේන්නේ...






නැගෙනහිර වැඩ ටික ඉවර කරලා ආපහු ගෙදර එන්න එද්දී මාර වැඩක් වුනා.. මනම්පිටිය පාර යට වෙලා.. පරාක්‍රම සමුද්‍රය වාන් දාන්න පටන් අරං.. කිලෝ මීටරයක් විතර දුරට අඩියක් දෙකක් විතර වතුරෙන් යට වෙලා ගහගෙන යනවා වේගෙන්.. පාරත් බ්ලොක් වෙලා.. සමහර වාහන වලට යන්නත් බෑ.. අපේ වාහනේ දිය ‍ගොඩ දෙකේම හොඳින් වැඩ කියලා මේ පාරත් පෙන්නුවා ඒ වතුර පාර දෙබෑ කරන් ගියාට පස්සේ... මං නං ‍ටිකක් විතර බය වුනා ඒ වෙලාවේ... ඒ එන මගදී පොළොන්නරුවෙන් වැව් කරවල දුමේ වේලපුවාත් ගත්තා.. මාර රහයි.. හැබැයි ටිකක් විතර ගනං..

ඔන්න ඉතින් නැගෙනහිර රාජකාරී ටික ඉවර කරලා ආපහු ගෙදර ආවේ 28 වෙනිදා රෑ.. තව විස්තර ඊළඟ ලිපියට දාන්නම් හො‍ඳේ..

Tuesday, December 29, 2009

ඒ මහා පාවාදීමෙන් පසු...


හැමෝම ඉතින් දන්නවානේ ලේක් හවුස් පත්තර මහගෙදර දැන් අරලියගහ මන්දිරේ වගේ වෙලා කියලා.. විශේෂාංග ලිපි වලත් දේශපාලනේ.. රසඳුනෙත් දේශපාලනේ.. වෙළඳ දැන්වීමුත් දේශපාලනේ.. තව ටික දවසකින් මංගල දැන්වීමුත් දේසපාලනේ වෙයිද මන්දා...

මම මේ ඊයේ පෙරේදා මඩකලපු ගියපු ගමන් පත්තර ඔක්කෝම ටික කියව කියව ගියා.. සිළුමිණේ කියෙව්වේ මේ ලිපිය විතරයි.. කෝක කොහොම වුනත් කසුරි මාමා මේ ලිපිය ලස්සනට ලියලා තිබුනා.. ඔබත් කියවා බලන සේක්වා... “සත්‍යය මේව ජයතේ”...

උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27


ඒ මහා පාවාදීමෙන් පසු...
ඒ මහා පාවාදීමෙන් පසු සතුරෝ ජේසුස් වහන්සේ කුදලා අල්ලා ගත්හ. රෙදි කඩක් පමණක් ඉතිරිකොට වස්ත්‍ර ඉවත් කළහ. කටු ඔටුන්නක් හිස මත තැබූහ. කුරුසියක් උරමත තැබූහ. කස පහර දුන්හ. පරිභව කළහ.

කුරුසියේ බර ද කස පහර ද ඉවසා ගත නොහැකිව ජේසුස් වහන්සේ බිම ඇද වැටුණේය. කුරුසියත් ඔසවාගෙන නැඟී සිටින තුරු උන් කස පහර දුන්හ.

කටු ඔටුන්නෙන් සිදුරු වූ නළල් තලයෙන් ගලන ලේ දෙකම්මුල් තෙමමින් ගලා ගියේ ය. කස පහර නිසා පුපුරා ගිය පිට පෙදෙසින් ගලන ලේ දහරා රෙදි කඩ ද ලේ පැහැ ගන්වමින් පහළට ගලා හැලුණේ් ය. පිරිමින් ගේ දෝෂ කඳට උරදුන් පව්කාර ස්ත්‍රිය වතුර බිඳක් ගෙන ඉදිරියට පැමිණියා ය. තමන් වෙනුවෙන් කල්වාරි කන්ද නඟින දේව දූතයා දෙස මිනිස්සු බලා සිටියහ.

ඔවුන්ගේ සුසුම්වලින් කල්වාරි කන්ද චලනය වීය. ඔවුන්ගේ විලාප හඬින් කඳු මුදුන දෙදරා ගියේ ය. සතා සීපාවෝ බලා සිටියහ.

අවසාන භෝජන සංග්‍රහයේ දී ජේසුස් වහන්සේ පාවාදුන් ජුදාස්ට රිදී තිහක් ලැබුණේ ය.

රිදී තිහකට මේ පාපතරයා විසින් දේවත්වය යක්ෂයින්ට පාවා දුන්නේ ය. මනුෂ්‍යත්වය මෘගයින්ට පාවා දුන්නේ ය. මානව දයාව තිරිසනුන්ට පාවා දුන්නේ ය. පව් කාර ස්ත්‍රියට ගල් ගසන විට එකම වරදක් වත් නොකළ කෙනකු පළමු ගල ගසන්න යැයි පවසමින් පිරිමින් ගේ දෝෂ කඳට යට වී හපයක් වී ගිය ඒ අසරණ ස්ත්‍රිය ගලවාගත් කරුණාව, ජුදාස් නම් වූ පාවා දෙන්නා විසින් දුෂ්ටත්වයට පාවා දුන්නේ ය.

ස්වර්ගය, අපායට පාවා දුන්නේ ය. කෙම්බිම, වියලි වැලිකතරට පාවා දුන්නේ ය. පරවියා උකුස්සාට පාවා දුන්නේ ය. මුව පැටියා කොටියාට පාවා දුන්නේ ය. සා පැටියා වෘකයාට පාවා දුන්නේ ය. කුරුලු පිහාටුව, වලස් නියකට පාවා දුන්නේ ය. සඳ වතුර ලෝ දියට පාවා දුන්නේ ය. පිනි බිංදුව, ගිනි පුපුරට පාවා දුන්නේ ය. ජීවිතය මරණයට පාවා දුන්නේ ය.

එසේ ම අන්තිමේ දී ශවේන්ද්‍ර ද සිල්වා අන්තර් ජාතික ද්‍රෝහීන්ට පාවා දුන්නේ ය. 58 වැනි සේනාංකය දුෂ්ට බලවේගවලට පාවා දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ කුමන්ත්‍රණකාරයින්ට පාවා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය අන්තර්ජාතික දුෂ්ටයින්ට පාවා දුන්නේ ය.

කීර්ති විජේබාහු, වළගම්බා, මහා පරාක්‍රමබාහු, දුටුගැමුණු ආදි නර විරුවන් විසින් ගොඩනඟන ලද ශ්‍රී ලාංකේය අභිමානය, අන්තර්ජාතික කැන හිලුන්ට පාවා දුන්නේ ය.

දැන් මේ කුමන්ත්‍රණකාරයෝ ගෝඨාභයගේ කරට කුරුසියක් තැබීමට සැලසුම් කරති. ඒ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා තම බුද්ධිය සහ ප්‍රඥාව යොදා ගනිමින් සියුම් ලෙස මානුෂික මෙහෙයුම සැලසුම් කිරීම පාපයක් වූ නිසාවත් ද?

ශවේන්ද්‍ර ද සිල්වා ගේ කර මතට ද කුරුසියක් පැටවීමට සැලසුම් කරති. ඒ මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් ගමන් කරමින් සටන් බිම පෙරමුණේ සිට සියල්ල මෙහෙයවමින් අනේක දුක් පීඩා විඳිමින් කලපුව කොටු කර ප්‍රභාකරන් නම් වූ ගොරතර පාපතරයා විනාශ කොට අපේ රට බේරා ගැනීම ශාපයක් වූ නිසා වත් ද?

කෑමක් බීමක් නොමැති ව.. වතුර පොදක්වත් නොමැතිව.. දින ගණන් සති ගණන් කටු කොහොල් මැදින් වැස්සට තෙත් බරි වෙමින් අව් කාෂ්ටයට පිළිස්සෙමින්... බූට් සපත්තු තුළ සිරවී ඇති ඇඟිලි තැලී පොඩි වී කුණුවෙන තුරු ඇවිදිමින්... අත් පා අහිමි කරගනිමින් රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ පූජා කරමින්... දරුවන්, මවුපියන්, පෙම්වතියන් අහිමි කර ගනිමින්..., සටන් බිම වෙඩි කා... ජීවිතය ම රටට දෙමින්... මන්නාරමේ සිට නන්දිකඩාල් කලපුව තෙක් පැමිණි 58 වැනි සේනාංකය රණවිරුවන්ගේ කර මතට කුරුසියක බර වැටුණේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී හැතිකරය විනශ කිරීම පාපයක් සහ ශාපයක් වූ නිසාවත් ද?

අපේ රට වෙනුවෙන්... අපේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන්... අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන්... අභිමානය වෙනුවෙන්... කොටින් ම අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා කුරුසියත් කර තබාගෙන අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය වෙත කස පහර කමින් අවලාද අපහාස විඳිමින් ඔවුන්ට ගමන් කරන්නට සිදු වුවහොත් ඔබ කුමක් කරන්නෙහිද? ජනතාවෙනි! ඔබේ හෘදය සාක්ෂියට තට්ටු කරන්න. ඔබේ ආත්මය ස්පර්ශ කරන්න. ඔබේ සංවේදී හදවත මත සිත තබන්න.

“මේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුහු ඔබේ ගැලවුම්කාරයෝ ය. ගැලවුම් කාරයන් සහ දුෂ්ටයින් හදුනා ගන්න. එවිට සත්‍යය ජය ගනු ඇත.”

ඔබේ හෘදය සාක්ෂිය, ඔබේ හදවත පමණක් නොව ඔබේ මුළු ආත්මයම ඔබට පවසනු ඇත.

“සත්‍යය ජයගනු ඇත.”

“සත්‍යය මේව ජයතේ”

සටහන - කසුරි


උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/27

Tuesday, December 1, 2009

කල්කටා නුවරට ගිය ගමනක්...


ඔන්න කාලෙකින් ටිකක් දිග බ්ලොග් ලිපියක් ලියන්න යන්නේ... පහුගිය ටිකේ කණ ගාවට වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා හරි හමන් යමක් ලියා ගන්න බැරිවුනා.. තාමත් ඉතින් එහෙම තමයි.. අනේ මන්දා මගේ වැඩ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.. මං මැරෙන දවසක තමයි ඉතින්..

මේ මාසේ මුළ මට ඉන්දියාවේ යන්න සිද්ධ වුනා රාජකාරී වැඩ කීපයකට... මේ මං ඉන්දියාවට ගියපු දෙවනි වතාව... මගේ ටුයිටරේයි මූණුපොතෙයි යාළුවො නම් දන්නවා ඉතින් ඒ ගැන... මුල්ම දවස් කීපයේ අපි හිටපු හෝටලයෙන් එළියට බැහැගන්න බැරි තරමට වැඩ තිබුනා... පියර්ලස් ඉන් කියන හෝටලේ දහ වෙනි තට්ටුවේ තමයි කාමරේ තිබ්බේ.. ඔන්න ඔය පල්ලෙහායින් තියෙන්නේ ඒ කාමරේ ජනේලේ ඉඳලා ගත්ත ෆොටෝ එකක්... ඉතින් නොවැම්බර් 9 වෙනිදා තමයි වැඩ වලින් නිදහස් වුනේ... ඊටපස්සේ දවස් කීපය ගත කලේ ම‍ගේ යාළුවෙකුගේ ගෙදරක... ඒ කල්කටා ටවුන් එකේ බාග්බසාර් කියන හරියේ... ඒක තට්ටු නිවාසයක්... ඊට එහා පැත්තේ තිබුනේ සුවිශාල ගංගා නදිය.. ටිකක් කාර්යබහුල පැත්තක් වුනාට හිතට ඇල්ලුවා...




හරිය‍ටම කිව්වොත් මං ගියේ ඉන්දි‍යාවේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයට... කවුරුත් දන්නවා හැබැයි කල්කටා කිව්වාම නම්... ෂාරුක් ඛාන්ලා රාණි මුඛර්ජිලාගේ උපන් ගම් එහෙනේ... දැනට මාස කීපයකට කලින් ‍මේ ප්‍රාන්තයට එහා පැත්තෙ තියෙන රටටත් මට යන්න අවස්ථාවක් ලැබුනා.. ඒ බංගලාදේශය.. ඉස්සර, ඒ කිව්වේ 1947 අගෝස්තු වල තමයි ඉන්දියාවයි පාකිස්ථානයයි නිදහස් රටවල් දෙකක් බවට පත්‍වුනේ.. ඒත් ඒ වෙනකොට බංගලාදේශය කියලා වෙනම නිදහස් රටක් තිබ්ලා නෑ.. බංගලාදේශයට එදා කියලා තියෙන්නේ නැගෙනහිර පාකිස්ථානය කියලා.. 1971 දෙසැම්බර් 16 වෙනිදා තමයි බංගලාදේශය නිදහස් රටක් විදිහට වෙන්වෙලා තියෙන්නේ.. ඉතින් බංගලාදේශයයි ඉන්දියාවයි වෙන්වෙන්නේ බටහිර බෙංගාලය කියන ප්‍රාන්තයෙන්.. මේ ප්‍රාන්තයේ අගනුවර තමයි කල්කටාව කියන්නේ.. ඇත්තටම කල්කටාව කියන්නේ ඉංග්‍රීසි පාලන සමයේ ඒ කියන්නේ 1947ට පෙර තිබුනු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රධානතම බලකොටුව... ගංගා නදිය මුහුදට එකතුවෙන්නෙත් මෙන්න මේ කල්කටා නුවරින්... කල්කටා වල තියෙනවා වික්ටෝරියා අනුස්මරණ ශාලාව කියලා එකක්.. ඒක ටිකක් විතර ට‍ජ්මහල් වගේ.. එන්ගලන්තේ වික්ටෝරියා රැජිණ අනුස්මරණයට 1906 දී රැජිණගේ මුණුපුරා වන වේල්ස් කුමාරයා විසින් තමයි මේ අනුස්මරණ ශාලාව හදන්න මුල්ගල තියලා තියෙන්නේ.. 1921 දී තමයි මහජනතාවට විවෘත කරලා තියෙන්නේ කොහොමහරි.. හරිම ලස්සන තැනක්... ඔන්න පල්ලෙහා තියෙනවා ෆොටෝ ටිකක් බලන්න... කල්කටාවට ගියොත් වික්ටෝරියා අනුස්මරණ ශාලාව බලන්නත් අමතක කරන්න එපා ඔන්න...




ඊළඟ දවසේ අපි ගියා කල්කටා කටුගෙයට... අපේ කටුගේ හැඩයම තමයි... ඒ වුනාට ටවුන් එක මැද තියෙන නිසා ටිකක් කලබලකාරී... මේකේ ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නෑ.. ඒ වුනාට මං ෆෝටෝ කීපයක් ගත්තා... :) මං දැක්ක විශේෂතම දේ තමයි ඇත්ත ඊජිප්තු මමියක් බලාගන්න පුළුවන් වෙච්ච එක.. ඒත් ෆෝටෝ එකක් නම් ගන්න බැරිවුනා...




එදාම අපි ගියා කල්කටා වල තියෙන ග්‍රහලෝකාගාරයට.. මං ලංකාවේ එකටවත් තාම ගිහිල්ලා නෑ.. (ලැජ්ජාවේ බෑ) ඒ වුනාට වෙලාවට මේ ග්‍රහලෝකාගාරය බලාගන්න ලැබුනා... හින්දි බෙංගාලි ඉංග්‍රිසී භාෂා වලින් දර්ශණ වාර පවත්වනවා... අපි ගියපු වෙලාවේ වාසනාවට වගේ ඉංග්‍රීසි දර්ශණය තිබ්බේ... මේ ග්‍රහලෝකාගාරය ආසියාවේ විශාලතම ග්‍රහලෝකාගාරය කියලා විස්තර දැනගන්න ලැබුනා... මෙන්න මෙතනින් එම්. පී. බිර්ලා ග්‍රහලෝකාගාරය ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්...


මේ තියෙන්නේ එම්. පී. බිර්ලා ග්‍රහලෝකාගාරය

ආහ් මට කියන්න අමතක වුනා... අපි මුල් දවස් කීපය හිටපු හෝටලය තියෙන්නේ කල්කටා වල සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වන ඊඩන් ගාඩ්න් ආසන්නයේ.. මං දවසක් රෑ කෑමට හෝටලේ භෝජනාගාරයට යද්දී දැකල පුරුදු කෙනෙක් මුණ ගැහුණා... ඒ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ඊර්ෆාන් පතන්... එයාගේ අයියා යූසුෆ් පතනුත් මං එන්න ටිකකට කලින් ඇවිත් තියෙනවා... ඊර්ෆාන්ගේ නංගියි පෙම්වතියයි එක්ක තමයි ඇවිත් හිටියේ.. මං ටිකක් වෙලා කථා කරලා අතේ තිබ්බ ෆොන් එකෙන් ෆොටෝ එකකුත් ගත්තා... කියන්න බලන්න කවුද වැඩියෙන්ම ගති කියලා.. ? :)


අර ඈතින් ‍කණු 4ක් පේන්නේ ඊඩ්න් ගාඩ්න් (Eden Garden) ක්‍රීඩා පිටිය...



කවුද handsome ? :D


ඔන්න අවසාන දවස් කීපයේ ටිකක් නගරයෙන් ඈතට යන්න හිතුවා.. ‍ගොඩක් අය දන්න කියන රබින්ද්‍රනාත් තාගෝර් මැතිතුමාගේ ශාන්ති නිකේතන් වලට තමයි ඊළඟට ගියේ... කලින් ඉඳලා සැලසුම් කරගෙන හිටිපු නිසා දවස් දෙකක් ඉන්න බලාගෙන ගියා... මගේ යාළු මිතුරිය ශාන්ති නිකේතන් අවටින් නිස්කලංක නවාතැනකුත් කථාකරලා තිබුන නිසා ලේසි වුනා... කල්කටා නගරයේ ඉඳලා කිලෝ මීටර් 250ක් විතර ඈතින් තියෙන බෝල්පූ‍ර් කියන ප්‍රදේශයේ තමයි ශාන්ති ‍නිකේතන් පිහිටලා තියෙන්නේ... ‍හැමෝම දන්නවා ඇති නේද ශාන්ති නිකේතන් කියන්නේ එක්තරා විදිහක විශ්ව විද්‍යාලයක් කියලා... සාහිත්‍ය කලා විශයන් වලට තමයි මේ විශ්ව විද්‍යාලය ප්‍රසිද්ධ... රබින්ද්‍රනාත් තාගෝර් තුමා 1913 දී තමයි මේක විශ්ව විද්‍යාලයක් විදිහට පටන් අරන් තියෙන්නේ.. ඉන්දිරා ගාන්ධී, සත්‍යජිත් රායි වගේ දැවන්තයින් මේ සරසවියෙන් තමයි ඉගෙනුම ලබලා තියෙන්නේ... දැනටත් රටවල් ගණනාවකින් ආපු සිසු සිසුවියෝ මෙහෙ අධ්‍යාපනය ලබනවා..


ශාන්ති නිකේතන් සරසවියට ඇතුළුවීම...



රබින්ද්‍රනාත් තාගෝර් මැතුතුමාගේ පිළිරුවක්...



ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි



ශාන්ති ‍නිකේතන් ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට...


සරසවි භූමියේ ඇති කලා නිර්මාණයක්...


ශාන්ති නිකේතන් සරසවියේ පැරණි ගොඩනැගිලි...

අපි ටිකක් මේ සරසවි භූමියේ ඇවිදිද්දී අපිට හම්බුනා ගැමි ගී කිය කිය ඇවිදින මිනිස්සු දෙන්නෙක්.. කෙලින්ම සල්ලි ඉල්ලන්නේ නැතිව ගීත කියලා ජීවත්වෙන ශ්‍රම‍ණයෝ වගේ පිරිසක්... අමුතුම ලස්සනකුත් හරිම සමීප බවකුත් ඒ කියපු ගීත වලින් මට දැනුනා.. ටික ටික හවස් වෙලා කළුවර වැටෙනකම්ම අපි ශාන්ති නිකේතන් සරසවියේ ඇවිද්දා...


ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...

ඊළඟ දවසේ අපි ගියා ටිකක් ෂොපින් පාරක් දාන්න.. ඒ බෝල්පූර් ප්‍රදේශයේම හදන බඩු භාණ්ඩ කීපයක් මිළදී ගත්තා.. හරි ලස්සන බෑග් කීපයක්ම ගත්තා යාළුවොන්ට බෙදන්න... දැන්නම් ඉලන්න එපා ඔන්න... :) ඒවායේ කෑලිත් නෑ දැන්... ආහ් මෙතනදිත් අර වගේ සින්දු කියන ශ්‍රමණයෝ හමුවුනා... ගීත 3ක් 4ක් අපි ඇහුවා.. ග්‍රාමීය බෙංගාලි භාෂාවෙන් තමයි මේ ගී පද ගැයුනේ.. ඒ ගීතත් අහලා අපි ආයෙත් කල්කටා වලට යන්න පිටත් වුනා... හවස් වෙද්දී කල්කටා වලට ඇවිත් සංගීත භාණ්ඩ විකුණන පරණ කඩේකට ගියා.. එතනින් මගේ ඉන්දියානු මිතුරිය මට සංගීත භාණ්ඩයක් තෑග්ගක් විදිහට අරං දුන්නා.. පල්ලෙහා තියෙනවා ඒ ෆොටෝ එකත්... ඉතින් ඊළඟ දවසේ අපි ආපහු ගමරට බලා ආවා...


තවත් ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...



මේ නම් ඉන්නේ ගී කියන ශ්‍රමණයෙක් නෙමෙයි ඔන්න.. :)



ගී කියන ශ්‍රමණයන් දෙදෙනෙක්...


සංගීත භාණ්ඩ සාප්පුවේදී...


ලැබුණු තෑග්ගක්...

කල්කටා වල ඉඳලා ලංකාවට ඍජු ගුවන් සේවා නැති හින්දා චෙන්නායි හරහා තමයි යන්න වුනේ.. චෙන්නායි වලත් ඉතින් පොඩ්ඩක් රවුම් ගැහුවා... කියන්න තරම් දෙයක් නෑ ඉතින්... ෂොපින් තමයි අතේ සතේ හි‍ඳෙනකම්... :)


කල්කටා නුවරට ඉහළින්...



වළාකුළු වලටත් උඩින්...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009