
අද ලියන්ඩ හිතුනේ මගේ හිතට තදින් වැදිච්ච ලිපියක් ගැන.. අද සිළුමිණේ (2009.09.20) සිත් මල් යාය කියව්වා නම් කවුරුත් මේ ලිපිය කියවන්ඩ ඇති... මම නම් සාමාන්‍යයෙන් පත්තරේ බලන පළමු මුරේ කරන්නේ ඔහේ බලාගෙන ශීර්ෂ ටික කියවං යන එක විතරයි.. හැබැයි මේ ලිපිය දැක්කාම එක හුස්මට පළවෙනි මුරේදිම කියවන්න හිතුනා.. මේ ලිපියේ ලියලා තිබ්බේ අපේ සිංහල සන්නස්ගල මහත්තයාගේ අම්මා ගැන ඒ මහත්තයා කියන අදහස්... මට ටිකක් විතර මේ මහත්තයා ගැන පහුගිය ටිකේ කළකිරිලා හිටියත් මේ ලිපිය කියව්වාට පස්සේ ටිකක් විතර ඒ කහට මැකුනා... සන්නස්ගල මහත්තයාගේ නිර්ව්‍යාජ බවට මං නම් කවදත් ආදරෙයි.. සමහර වෙලාවට මෙච්චර පුංචි අපිටවත් වෙන්න බැරි නිර්ව්යාජභාවයක් සන්නස්ගල මහත්තයට තියෙනවා... දවසක් මං අහගෙන ඒ මහත්තයා කියනවා "තනියම මං වාහනේ එළවාගෙන නුවර යද්දී කඩුගන්නාව හරියෙන් වාහනේ නවත්තලා පාර අයිනේ ඉඳන් චූ කරන මනුස්සයෙක් මම" කියලා කිව්වා.. අද මේ ලිපිය කියවපුවාම මේකටත් වඩා හොඳ ආකල්පයක් මගේ ඔළුවට දැනුනා... ඒත් සන්නස්ගල මහත්තයා හොඳටම හොඳ මිනිහෙකුත් නෙමෙයි.. වැරදි අඩුපාඩු ගොඩක් තියෙන මනුස්සයෙක්... ඒකෙත් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ, මොකද අපි කවුරුත් Perfect නෑනේ... මේ ලිපියේ "මගේ අම්මාව මට මඟ හැරුනා" කියලා තියෙන්නේ මං හිතන්නේ සන්නස්ගල මහත්තයාට හරියට තමනගේ අම්මාට සළකා ගන්න බැරිවුනා කියන එක වෙන්ඩ ඕනේ.. මං වටින් ගොඩින් අහලා තියෙන විදිහට සන්නස්ගල මහත්තයා තමන්ගේ දෙමව්පියන්ට හරියට සළකලා නෑ.. ඉතින් අද හිතෙන් දුක් විඳිනවා.. දැන් කොච්චර දාන මාන දුන්නත් වැඩක් නෑ, තමන්ගේ දෙමව්පියෝ ඉන්න කාලේ නොසලකා.. ඉතින් මේ මහත්තයා මෙච්චර වමාරන්නේ ඒ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි...
මොනවා වුනත් සන්නස්ගල මහත්තයා හොඳට දුක් විඳපු හොඳට කටු කාපු මනුස්සයෙක් කියලා මට අද ලිපියෙන් තවත් තේරුම් ගියා.. මන්ද පෝෂණය පවා හැදිලා පයින් ඇවිද ගන්නවත් බැරුව, සමහරක් වේල් කන්ඩ බොන්ඩවත් නැතුව දුක් විඳපු එකෙක්.. ඒකයි ඒ මනුස්සයා අද දියුණු වෙලා ඉන්නවා නම් ඒකට රහස.. ඉතින් මේ දේවල් කටක් ඇරලා කියන්ඩ තරම් හයියක් තියෙන එකත් ඇති අප්පේ... අද කාලේ අම්මලාගේ තාත්තලාගේ තුට්ටු දෙකට විදලා කකා බිබී විතරක් ඉන්න එවුන් හැදෙන්ඩවත් අඩුම ගානේ...
අවසානෙට මෙන්න මේ පේලි ටික මෙතන දාන්න හිතුනා.. සන්නස්ගල මහත්තයා ලියපු මුල්ම පොත වන "සරසවි දියණියෝ" පොතේ පිදුමයි මේ..
”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”
මේ ලිපිය කියවන්න.. පල්ලෙහා දාලා තියෙනවා ලින්ක් එක.. අදට ලිව්වා ඇති වගේ.. මට ජය සිරිමා බෝ සමිදු පිහිටයි ! :)
ලිපිය මෙතැනින් කියවන්න...