Thursday, September 10, 2009

අහසින් වැටුනු අපේ ළමයි...





දුකා අයියා ඊයේ ලියලා තිබුනු ‍බ්ලොග් සටහන නිසා මං කාලයක් තිස්සේ ලියන්නම් කියලා හිතගෙන හිටපු අදහසක් ටිකක් ඉක්මන් වුනා වගෙයි... මෙන්න මේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ගීතය පොඩ්ඩක් බලන්න... මෙතනින් අහන්නත් පුළුවන්...

අහසින් පොළොවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ...
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ...

මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පටබැඳුනේ...

අහසින් පොළොවට කඩා වැටීලද....

ගෙනත් දෙතිය රසමසවුළු මව්වරු දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ...
නැතිබැරිකම් මැද අහක දමන්නද නුඹෙ මව් ලමැදේ කිරි එරුණේ...


"දාන මාන පින් පුදමින් සැමදා ඉන්නද නුඹලා බිහිවූයේ...
මිනිසුන් ලෙස මෙහි ජීවත් වන්නට වරම් අහිමිවිද පුංචි පුතේ... "

මේ ගීතයේ අවසාන පදපේලි දෙක මං එකතු කලේ.. අනාථ ළමයින් විතරක් නෙමෙයි, රැකවරණය අහිමිව යම්කිසි ආයතනයක ආයතනගත වෙලා ඉන්න ඕනෑම කෙනෙකු‍ට අදාල සිද්ධියක් ගැන තමයි ලියන්න හිතුනේ... මේ බ්ලොග් ලිපිය කියවන බොහෝ දෙනෙක් එක වතාවක් හරි අනාථ නිවාසයකට, ආබාධ සහිත දරුවන් සිටින නිවාසයකට, වැඩිහිටි නිවාසයකට වගේ ආයතන වලට දාන දීලා ඇති.. උපන් දිනයකට, නැත්නම් මළගිය කෙනෙකුට පින්තකා, තමයි බොහෝ දෙනෙක් මේ දානමාන ලබාදෙන්නේ... අපි වැඩිහිටි නිවාස පැත්තකින් තියමු, මොකද වැඩිහිටියන් මේ කාරණේදී වැඩිපුර අදාළ නැති නිසා..

අද සමාජය ළමා නිවාස වලට දාන මාන ලබා දෙන්නේ බොහොම අනුකම්පාවෙන් "අනේ අසරණයෝ" කියන හැඟීමකින්.. ඉතින් මේ විදිහට දාන මාන ලබාදෙන විට මේ ළමා නිවාස වල ඉන්න ළමයින්ගේ මනසට ඍජුවම බලපානවා.. කුඩා කාලයේ ඉඳලම යැපුම් මානසිකත්වයට හුරු කිරීමක් නෙමෙයිද මේ ආකාරයේ දානමාන ලබාදීමෙන් සිද්ධ වෙන්නේ ? රටට ලෝකයට පේන්න ෆෝටෝ ගගහා දානමාන දෙන්න එපා.. දානයක් දුන් ආකාරයට නෙමෙයි යම්කිසි ආධාරයක් කල විදිහට මේ නිවාස වලට උපකාර කරන්න අපට බැරිද ? හැබැයි සමහරක් අය ඉන්නවා දුර දිග බලලා වැඩ කරන.. මං පෞද්ගලිකව දන්න කීපදෙනෙක් ඉන්නවා කිසිම දවසක තමන්ගේ නමවත් සඳහන් නොකර ආධාර ලබාදෙන.. කවදාවත් ඒ අය කිසිම දෙයක් මේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ... හොඳට හැදෙන්න කියන එක මිස...

අපි ගැන හිතලා බලන්න.. අපි කැමතිද කාගෙන්වත් යමක් පිනට ඉල්ලගෙන කන්න ? පව්කාරයෝ වගේ අපි දිහා බලනවට ? ඉතින් අර ළමයිනුත් අපි වගේම මනුස්සයෝ නේද ? අපිට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා නේද ? ඉතින් මේ හැම කරුණු කාරණයක් ගැනම හිතලා ඊළඟ වතාවෙ යම්කිසි ආධාරයක් ලබාදෙනවා නම් මේ වගේ නිවාස වලට ලබාදෙන්න...

ලෝකෙට පේන්න දාන දෙන්න ඕනෙ නෑ පින් ලබන්න.. සාක්කුවට බෑග් මළු වලට පුරවගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින් කියන්නේ... අවසානෙට මේකත් කියලම යන්නම්...

කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ "මනුස්සකම" මිනිසුනේ...
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ "මනුස්සකම" මිනිසුනේ...

5 අදහස්:

-බිன்ku- on September 11, 2009 at 12:53 AM said...

බොහොම ස්තුතියි මිත්‍රය!

"අපි ගැන හිතලා බලන්න.. අපි කැමතිද කාගෙන්වත් යමක් පිනට ඉල්ලගෙන කන්න ? පව්කාරයෝ වගේ අපි දිහා බලනවට ? ඉතින් අර ළමයිනුත් අපි වගේම මනුස්සයෝ නේද ? අපිට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා නේද ? ඉතින් මේ හැම කරුණු කාරණයක් ගැනම හිතලා ඊළඟ වතාවෙ යම්කිසි ආධාරයක් ලබාදෙනවා නම් මේ වගේ නිවාස වලට ලබාදෙන්න..."

ඇත්ත මචෝ, හැබැයි මචෝ මම නම් හිතන්නේ මෙහෙමයි මචෝ. ඔය ළමයින්ට කන්න බොන්න දීලා (ඇතැම් නිවාස වල සින්දුවක් හෝ ස්තුති කථාවක් එහෙම හෝ සාදයක් දාන්නත් දෙනවා) යනවාට වඩා එයාලා එක්ක විනෝද චාරිකාවක් හෝ නිවාසයේ චිත්‍රපටියක් වැනි දෙයක් පෙන්වීමක් හෝ වැදගත් වැඩ සටහනක් හෝ ඒ දවස පුරා ඒ ළමයි එක්ක ආදරයෙන් පිරුණු ගත කිරීමක් කිරිම ඉතාම අගනා බවයි මගේ අදහස. සමාජයක් හා මිනිසුන් අංශයෙන් ඒවැන්නක් ඉතාම වටිනවා.

ඒ වගේම මගේ අත්දැකීම් අනුව ඒ ළමුන්ගේ මනස වෙනස් වෙන්නේ/ විකෘති (වැරදි ආකල්ප) වලට භාජන වෙන්නේ ධාන හා ආධාරවලට පිවිසන ඇතැම් අයගෙන්මයි. ඛණගාටුදායක ඇත්ත ඒකයි, ඔවුන්ගෙන් ඇතැමෙක් එසේ ඇවිත් තම උජ්ජාරුව පෙන්වන ආකාරයේ දේ කරනවා. ඇතැමෙක් ඒ දරුවන්ට හා සහභාගිවුවන්ට පෙනෙන අයුරින් තම දරුවාට/පෙම්වතා හෝ පෙම්වතියට/බිරිදට හෝ සැමියාට "හුරතල්" පානවා, එහි වැරද්දක් වෙන්නේ පිඩීනයක් හිතේ තියනාන ඉන්නාවු ඒ අසරණයන්ට දැනෙන ගැඟිම් වගේම පසුකාලීනව ජිවිතය වරද්දා ගැනීමයි.

එවැන්නක් නිවාසයක වුණා. ඊට හේතු වුයේ උසස් පෙල කරන (මාද හදුනනා) කොල්ලෙකුගේ උපන්දිනය වෙනුවෙන් සිය මිත්‍රයන් හා පෙම්වතිය එක්ක පැවැත්වු උපන්දින "දානය"ක්. අවසානයේ ඒ නිවාසේ නතර වී සිටින දැරිවිය ( සාමන්‍ය පෙළ කරන) ප්‍රේම සම්බන්දයක් ආරම්භ වීමත් ඉන්පසුව ඇයව අතවර කිරීමයි ( ලිංගිකව එකතු වීමක් වුවා නොව).

මගේ අවසන් ඉල්ලීම මෙයයි ඒ දරුවන්ට දානයක් හෝ ආධාරයක් දීමේ වැරද්දක් කෙසේවත් නෑ. නමුත් ඒ "අනේ පව්" වැනි අනුකම්පාවක් නොව කරුණා චිත්නයක් පෙරදැරිව කරන ලෙසයි. එය නිහතමානීව හෝ නිර්නාමිකව සිදු කරන් පුද්ගලයින් මගේ ප්‍රණාමය.

ඉ-නැණ පියස on September 11, 2009 at 7:52 AM said...

අද කාලේ මොස්තරේකටනේ අනාථ නිවාස වලට දාන දෙන්නේ.ඒ දීලා පම්පෝරිය තමයි ඉතිං.

"ඔයා දන්නෑ අපි ගිය සතියේ අහවල් අනාථ නිවාසයට දානයක් දුන්නනේ.හරි ෂෝයි අනේ...කට්ටිය 30ක් විතර හිටියා.අපි මේවා හදාගෙන ගියා.අරව දුන්න.මට හොදටම ෂූවර් අපි තරම් ඒ අනාථ නිවාසයට කවුරැවත් දාන දීලා නැතිව ඇති....."

ඕක සත්‍ය කතාවක්...ඉතිරි ටිකත් දාන්න ඕනි නෑ හිතාගන්න පුළුවන්නේ....
අන්තිමට මෙයාලා දැන දීලා පිං කරගන්නවා කියලා කීවට කරගෙන තියෙන්නේ පවක්.


@ උදාර
වැදගත් ලිපියක්....තව ඔය වගේ අද සමාජයට වැදගත් ලිපි ලියන්න...සුභ පතනවා.

@ -බිன்ku-
මම 1000% එකගයි උඹේ කතාව ගැන....

මධුරංග ප්‍රභාත් on September 11, 2009 at 11:26 AM said...
This comment has been removed by the author.
m3mad on September 11, 2009 at 11:34 AM said...

උඹල කියන කතා ටිකට මමත් එකඟයි. ඒත් ඕකෙ අපි නොදකින පැති කීපයක් තියෙනව. වැදගත්ම එකක් තමයි ඔහොමහරි ඔය ළමයින්ට කන්න බොන්න, අඳින්න හම්බවෙන එකත් කොච්චර එකක්ද?

අනෙක ඔය ළමා නිවාස වලට දෙන දාන වලට පස්සෙ එයාලට සින්දු කියන්න, නටන්න කියල ඒ ළමයින්ව "ඇඩ්" එකක් කරවන්නෙ ඔය නිවාස පාලනය කරන කට්ටියමයි. එහෙම කලහම ඒ අයගෙ "අහිංසකබව" කට්ටියට පේනව කියල ඒ අය හිතනව ඇති. මට මතක විදිහට ඔහොම දවසක ඒ නිවාසෙ බලාගන්න අයම තමයි ළමයින්ට කිව්වෙ "මේ ඇවිත් ඉන්න අයට සින්දු කියල නටල පෙන්නන්න කියල"

දුකා on September 11, 2009 at 1:58 PM said...

ඇත්තෙන්ම සමාජයේ ළමා නිවාස ඇතිවීම ඛේදවාචකයක් . . . නමුත් මා සිතනුයේ පෙරදිග රටවලට සාපේක්ෂව අපේ රටේ දෙමාපියන්ගේ ආරවුල් නිසා අනාථවන ළමයින් සංඛ්‍යාත්මකව අඩු බවයි . . .

කෙසේ වෙතත් පෙරදිග රටවල නම් මෙවැනි ළමා නිවාස තනිකරම රජයේ නඩත්තුවෙන් පවත්වාගෙන යනවා ඇති කියා මා සිතනවා (සෑම රැකියා කරන අයගෙන්ම ටැක්ස් අය කරනුයේ මේවා නඩත්තුවටත් එක්ක මා සිතන පරිදි / මා අසා අති පරිදි) අපේ රටේ නම් මේවායේ නඩත්තුවට රජයෙන් යම් අධාර සහ සහන ලබා දෙනවා පමනයි . . . ඉතිරි සියලුම වියහියදම් ළමා නිවාසයෙන් සපයා ගත යුතුයි . . . මෙන්න මෙතැනදීයි ඔවුනට සාමාන්‍ය මහජයාගේ උපකාර අවැසි වනුයේ . ..

එවිට අපට උපකාර කිරීමට කැමති අයගේ ප්‍රදර්ශනාත්මක හැඟීම වලට අනුකූලතාවයක් දක්වා එයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ගේ උපකාර ලැබීමේ අවෂ්‍යතාවයට යටත් වීමට සිදුවෙනවා . . . දරුවන්ගේ බඩගිනි නිවීම සහ ඔවුන්ගේ අවෂ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් . . .

අප කිසිවෙක් කමති නෑ අපට අනුකම්පා කරනවාට . . . නමුත් අප අනුකම්පාවට බඳුන්විය යුතු අඩියක සිටිනවානම් අපට අනුකම්පා කිරීමට අන් අයට ඇති අයිතියට කෙසේ වැටකඩොලු බඳිම්ද. . . ?

එහි දරුවන් අද දවසේ යම් කිසි අපහසුවකට පත්වෙනවා වියහැකියි . .. නමුත් සත්‍ය වටහාගැනීමට තරම් ඔවුන් දැනමුතු වූ දිනෙක . . . ඔවුන්ට උපකාර කල සියලු දෙනාට මනසින් පිංපමුනුවනවා ඇති . . .

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009