Saturday, October 10, 2009

ලැප්ටොප් වල සද්දේ මදිද ? SRS WOW Sandbox...



























කාලෙකින් මෘදුකාංගයක් ගැන ලියන්න බැරි වුනා නිසා අද හිතුනා මං වැඩිපුරම පාවිච්චි කරන ගොඩක් වැදගත් වටිනා පොඩි මෘදුකාංගයක් ගැන කියන්න...

ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි හරි හමන් විදිහට ශබ්දය රසවිඳින්න ක්‍රමයක් නැති එක.. මේ දෙගොල්ලෝ අතරින් ලැප්ටොප් පාව්ච්චි කරන අය තමයි මේ ප්‍රශ්ණයට වැඩිපුරම මූණ දෙන්නේ... (මාත් මේ අත්දැකීම් වින්දා) බොහෝ වේලාවට ලැප්ටොප් වල ශබ්දය ගොඩක් අඩුයි... ඉතින් සමහර වෙලාවට ටිකක් සද්ද බද්ද තියෙන තැනක ලැප් එකෙන් මොනවා හරි අහන්න ගියාම හරි පුරස්නේ... ඒ වගේම ගීත අහන වෙලාවට ජරබර සද්ද එනවා නම් ඒකත් හරිම පුරස්නයක්... ඉතින් මේකට හොඳම විසඳුම විදිහට දැනට මම හොයා ගත්තේ SRS WOW Sandbox කියන කුඩා මෘදුකාංගය... මේ මෘදුකාංගයෙන් ශබ්දය ඉතාමත් ගුණාත්මක මට්ටමකට ‍හැරවීමත් දැනට තියෙන ශබ්දය හතර (4) ගුණයකින් පමණ වැඩි කිරීමටත් (ස්පීකර්ස් වල‍ට හානියක් නොවී) හැකියාව තිබෙනවා...

ඉතින් DVD බලන MP3 අහන අයට මේ කුඩා මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. මේක අවශ්‍ය අයට පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්...


SRS WOW Sandbox v. 1.9.0.4

Saturday, October 3, 2009

ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... Old Hindi Songs...



ඔන්න වෙනදා කියනවා වගේ අදත් සුපුරුදු විදිහට "කාලෙකින් බ්ලොග් ලිපියක් ලියන්නත් බැරි වුනානේ" කියලම පටන් ගමු... :D :D

අද ලියන්න කියලා හිතුවේ කාලයක් තිස්සේ ලියන්....ඩම කියලා හිතං හිටිය "පැරණි හින්දි ගීත" ගැනයි... මගේ ජීවිතේ විනෝදාංශ කියලා කරන ඒවා අතරින් ප්‍රධානම එකක් තමයි පැරණි හින්දි ගීත අහන එක, එකතු කරන එක හා ගායනා කරන එක (අමාරුවෙන් හරි)... මං දැක්කා අපේ සිංහල බ්ලොග්කරුවන් අතරත් ගොඩාක් පැරණි හින්දි ගී රසිකයෝ රසිකාවියෝ ඉන්නවා කියලා... ඉතින් ඒක හින්දම අද පැරණි හින්දි ගීත ගැන මං හිතන දේ ලියනවා..

අපේ තාත්තාගේ පවුලේ උදවිය ගොඩක් කලාවට බරයි... සින්දු, චිත්‍රපටි තමයි ඒ අයගේ විනෝදාංශ... ඉතින් පොඩි කාලේ ඉඳලා මට ඇහුනේ සිංහල හින්දි සින්දු... හැබැයි අපේ තාත්තා විතරක් ඇබා, බොනීඑම් සංගීත කණ්ඩායම් වල සින්දු අහපු නිසා මටත් ඒවායේ පද නොතේරුනත් තාලෙට නිකම්ම නැටවුනා පොඩි කාලේ... (කැසට් පීස් තාමත් තියෙනවද කොහෙද.. හොයලා බලන්න ඕනේ..) අපේ තාත්තා සින්දු පිස්සා... හොඳට සින්දු කියන්න පුළුවන්.. තාත්තා සින්දු කියද්දී අපේ අක්කයි මායි නටනවා... අපිට තිබ්බා නැෂනල් පැනසොනික් රේඩියෝ කැසට් එකක්... අපේ පැත්තටම තිබ්බෙත් රේඩියෝ දෙකයිද කොහෙද... ඉතින් අපේ තාත්තා ළඟ කැසට් පීස් (සමහරු නම් කැසට් පීස් කිව්වාම දන්නවාද දන්නෙත් නෑ.. ඒ තරමට දැන් ඒවා අභාවයට යනවා ඩිස්කට් වගේ) පෙට්ටියක් තිබ්බා... ඊට අමතරව ඉතින් ඒ කාලෙනම් තිබ්බේ ගුවන් විදුලි නාලිකා අතේ ඇඟිලි ගානට... වෙළඳ සේ‍වය, ස්වදේශීය සේවය, රජරට සේවය තමයි අපි ඇහුවේ... මේවායේ ගොඩක් වෙලාවට පැරණි සින්දු ගියා අදට වැඩිය... මං හින්දි සින්දු වලට මෙච්චර ආස වෙන්න අනික් ප්‍ර්‍රධානම හේතුවක් තමයි ඉස්සර ජනප්‍රිය වුන හැම හින්දි සින්දුවකටම සිංහල කොපියක් තිබ්බ එක... මේ කාරණේ අනික් අයටත් පොදුයි කියලා මං නම් හිතන්නේ.... අනික් කාරණේ මේ හැම සින්දුවකම තනුව වගේම සංගීතය හිතට වදින විදිහට එකතු කරලා තියෙන්නේ ගායනයට හානියක් නොවෙන්න.. ඕනෙම පරණ සින්දුවක පැහැදිලිව කටහඬ ඇහෙනවා.. පද ටික තේරෙනවා.. මට හින්දි ටිකක් හරි පුළුවන් වෙන්න මේකත් හේතුවක්...

මුල්ම හින්දි චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ 1913 දී... ඒකේ නම "රාජා හරිස්චන්ද්‍ර"... එත් ඒක ගොළු චිත්‍රපටියක්... ඒ කියන්නේ රූප විතරයි සද්ද නෑ.. ශබ්දයත් එක්ක මුලින්ම හින්දි චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙන්නේ 1931 දී... ඒ "අලම් ආරා".. මේ චිත්‍රපටියට සින්දු 07ක් ඇතුලත් වෙලා තියෙනවා... ඉතින් මේ හින්දි සිනමා ගීත ඉතිහාසයේ පළමු වෙනි පියවර වෙන්නෙ මෙතනයි.. එත් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගය කියලා කොයි කවුරුත් හඳුන්වන්නේ 1940 - 1960 දක්වා කාලය... ඒත් මේ උදාර මහත්තයාගේ විචාරයට අනුව ස්වර්ණමය යුගය වෙන්නේ 50 දශකේ මුල් භාගේ ඉඳලා 80 දශකේ මුල් භාගය දක්වා දිවෙන කාලය... හරියටම කිව්වොත් 1949 ඉඳලා ඒ කියන්නේ බර්සාත් ඉඳලා 1982 ඩිස්කෝ ඩාන්සර් වෙනකං කාලය... (හැබැයි මේ කාලේ මං ඉපදෙන්ඩ හිතලවත් නෑ..) බර්සාත් එකේ තියෙන සින්දු හැම එකකටම වගේ මං නම් ආසයි... හැම සින්දුවක්මත් මං ළඟ බොහොම සුරක්ෂිතව තියෙනවා... මේ හැම සින්දුවකම පද පේළි වල තේරුම දන්න නිසා බොහොම හොඳට විඳින්න පුළුවන්..

මගේ පැරණි හින්දි සින්දු ලෝකේ රජ්ජුරුවෝ තමයි මොහොමඩ් රාෆි මහත්තයා... රැජිණ ගැන ආයෙ කථා දෙකක් නෑ ලතා මංගේෂ්කාර් නෝනා... එතකොට යුවරජු තමයි කිෂෝර් කුමාර් මහත්තයා... රජ සීයා තමයි මුකේෂ් මහත්තයා.. එතකොට මදන් මෝහන්, නවුෂාඩ්, ඕ.පී. නායර්, රාහුල් දේව් බර්මන් (ආර්. ඩී. බර්මන්), සචින් දේව් බර්මන් (එස්. ඩී. බර්මන්). ලක්ෂ්මී කාන්ත්-ප්යාරේ ලාල් යන පුරෝහිත (සංගීත අධ්‍යක්ෂකවරුන්) පරපුර අමතක කරන්නම බෑ... මෙතනින් එස්. ඩී. බර්මන් හා ආර්. ඩී. බර්මන් ගැන විශේෂයෙන් කියන්න ඕනේ.. එස්. ඩී බර්මන් කියන්නේ ආර්. ඩී. බර්මන්ගේ තාත්තා... මං ගොඩක් ආස කරන සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක්...

කොයින් කොහොම වුනත් මං දැං කාලේ හින්දි සින්දු වලටත් මේ ව‍ගේම ආසයි... ඒ හැම එකක්මත් එකතු කරනවා රස විඳිනවා.. ඒ ගැන ලිපියක් වෙනමම ලියන්න ඕනේ.. ඒ වගේම ළඟඳීම ලංකාවේ ජනප්‍රිය වුන පැරණි හින්දි ගීත වලට වෙනමම බ්ලොග් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා... හැමෝගෙම සහයෝගෙ ලැබෙයි කියලා හිතනවා..

අදට ඇති එහෙනම්...

Sunday, September 20, 2009

සන්නස්ගල මහත්තයා...


කාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩත් බැරි වුන හින්දා අද නම් මොනවාහරි ලියන්ඩම ඕනේ කියලා හිතුනා.. පහුගිය දවස් ටිකේ වැඩ කීපයක් යෙදිලා තිබුන නිසයි ඔළුව නිදහසේ මුකුත් ලියා ගන්ඩ බැරුව හිටියේ.. ඒත් පුළුවන් හැම වෙලාවකම සින්ඩියේ තියෙන ලිපි නම් කියවනවා.. තව පුරුද්දක් විදිහට ඊ-මේල් චෙක් කරනවා වගේ සින්ඩිය බලනවා මොනවද අළුත් ලිපි කියලා..

අද ලියන්ඩ හිතුනේ මගේ හිතට තදින් වැදිච්ච ලිපියක් ගැන.. අද සිළු‍මිණේ (2009.09.20) සිත් මල් යාය කියව්වා නම් කවුරුත් මේ ලිපිය කියවන්ඩ ඇති... මම නම් සාමාන්‍යයෙන් පත්තරේ බලන පළමු මුරේ කරන්නේ ඔහේ බලාගෙන ශීර්ෂ ටික කියවං යන එක විතරයි.. හැබැයි ‍මේ ලිපිය දැක්කාම එක හුස්මට පළවෙනි මුරේදිම කියවන්න හිතුනා.. මේ ලිපියේ ලියලා තිබ්බේ අපේ සිංහල සන්නස්ගල මහත්තයාගේ අම්මා ගැන ඒ මහත්තයා කියන අදහස්... මට ටිකක් විතර මේ මහත්තයා ගැන පහුගිය ටිකේ කළකිරිලා හිටියත් මේ ලිපිය කියව්වාට පස්සේ ටිකක් විතර ඒ කහට මැකුනා... සන්නස්ගල මහත්තයාගේ නිර්ව්‍යාජ බවට මං නම් කවදත් ආදරෙයි.. සමහර වෙලාවට මෙච්චර පුංචි අපිටවත් වෙන්න බැරි නිර්ව්‍යාජභාවයක් සන්නස්ගල මහත්තයට තියෙනවා... දවසක් මං අහගෙන ඒ මහත්තයා කියනවා "තනියම මං වාහනේ එළවාගෙන නුවර යද්දී කඩුගන්නාව හරියෙන් වාහනේ නවත්තලා පාර අයිනේ ඉඳන් චූ කරන මනුස්සයෙක් මම" කියලා කිව්වා.. අද මේ ලිපිය කියවපුවාම මේකටත් වඩා හොඳ ආකල්පයක් මගේ ඔළුවට දැනුනා... ඒත් සන්නස්ගල මහත්තයා හොඳටම හොඳ මිනිහෙකුත් නෙමෙයි.. වැරදි අඩුපාඩු ගොඩක් තියෙන මනුස්සයෙක්... ඒකෙත් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ, මොකද අපි කවුරුත් Perfect නෑනේ... මේ ලිපියේ "මගේ අම්මාව මට මඟ හැරුනා" කියලා තියෙන්නේ මං හිතන්නේ සන්නස්ගල මහත්තයාට හරියට තමනගේ අම්මාට සළකා ගන්න බැරිවුනා කියන එක වෙන්ඩ ඕනේ.. මං වටින් ගොඩින් අහලා තියෙන විදිහට සන්නස්ගල මහත්තයා තමන්ගේ දෙමව්පියන්ට හරියට සළකලා නෑ.. ඉතින් අද හිතෙන් දුක් විඳිනවා.. දැන් කොච්චර දාන මාන දුන්නත් වැඩක් නෑ, තමන්ගේ දෙමව්පියෝ ඉන්න කාලේ නොසලකා.. ඉතින් මේ මහත්තයා මෙච්චර වමාරන්නේ ඒ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි...

මොනවා වුනත් සන්නස්ගල මහත්තයා හොඳට දුක් විඳපු හොඳට කටු කාපු මනුස්සයෙක් කියලා මට අද ලිපියෙන් තවත් තේරුම් ගියා.. මන්ද පෝෂණය පවා හැදිලා පයින් ඇවිද ගන්නවත් බැරුව, සමහරක් වේල් කන්ඩ බොන්ඩවත් නැතුව දුක් විඳපු එකෙක්.. ඒකයි ඒ මනුස්සයා අද දියුණු වෙලා ඉන්නවා නම් ඒකට රහස.. ඉතින් මේ දේවල් කටක් ඇරලා කියන්ඩ තරම් හයියක් තියෙන එකත් ඇති අප‍්පේ... අද කාලේ අම්මලාගේ තාත්තලාගේ තුට්ටු දෙකට විදලා කකා බිබී විතරක් ඉන්න එවුන් හැදෙන්ඩවත් අඩුම ගානේ...

අවසානෙට මෙන්න මේ පේලි ටික මෙතන දාන්න හිතුනා.. සන්නස්ගල මහත්තයා ලියපු මුල්ම පොත වන "සරසවි දියණියෝ" පොතේ පිදුමයි මේ..

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

මේ ලිපිය කියවන්න.. පල්ලෙහා දාලා තියෙනවා ලින්ක් එක.. අදට ලිව්වා ඇති වගේ.. මට ජය සිරිමා ‍බෝ සමිදු පිහිටයි ! :)

ලිපිය මෙතැනින් කියවන්න...

Thursday, September 10, 2009

අහසින් වැටුනු අපේ ළමයි...





දුකා අයියා ඊයේ ලියලා තිබුනු ‍බ්ලොග් සටහන නිසා මං කාලයක් තිස්සේ ලියන්නම් කියලා හිතගෙන හිටපු අදහසක් ටිකක් ඉක්මන් වුනා වගෙයි... මෙන්න මේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ගීතය පොඩ්ඩක් බලන්න... මෙතනින් අහන්නත් පුළුවන්...

අහසින් පොළොවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ...
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ...

මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පටබැඳුනේ...

අහසින් පොළොවට කඩා වැටීලද....

ගෙනත් දෙතිය රසමසවුළු මව්වරු දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ...
නැතිබැරිකම් මැද අහක දමන්නද නුඹෙ මව් ලමැදේ කිරි එරුණේ...


"දාන මාන පින් පුදමින් සැමදා ඉන්නද නුඹලා බිහිවූයේ...
මිනිසුන් ලෙස මෙහි ජීවත් වන්නට වරම් අහිමිවිද පුංචි පුතේ... "

මේ ගීතයේ අවසාන පදපේලි දෙක මං එකතු කලේ.. අනාථ ළමයින් විතරක් නෙමෙයි, රැකවරණය අහිමිව යම්කිසි ආයතනයක ආයතනගත වෙලා ඉන්න ඕනෑම කෙනෙකු‍ට අදාල සිද්ධියක් ගැන තමයි ලියන්න හිතුනේ... මේ බ්ලොග් ලිපිය කියවන බොහෝ දෙනෙක් එක වතාවක් හරි අනාථ නිවාසයකට, ආබාධ සහිත දරුවන් සිටින නිවාසයකට, වැඩිහිටි නිවාසයකට වගේ ආයතන වලට දාන දීලා ඇති.. උපන් දිනයකට, නැත්නම් මළගිය කෙනෙකුට පින්තකා, තමයි බොහෝ දෙනෙක් මේ දානමාන ලබාදෙන්නේ... අපි වැඩිහිටි නිවාස පැත්තකින් තියමු, මොකද වැඩිහිටියන් මේ කාරණේදී වැඩිපුර අදාළ නැති නිසා..

අද සමාජය ළමා නිවාස වලට දාන මාන ලබා දෙන්නේ බොහොම අනුකම්පාවෙන් "අනේ අසරණයෝ" කියන හැඟීමකින්.. ඉතින් මේ විදිහට දාන මාන ලබාදෙන විට මේ ළමා නිවාස වල ඉන්න ළමයින්ගේ මනසට ඍජුවම බලපානවා.. කුඩා කාලයේ ඉඳලම යැපුම් මානසිකත්වයට හුරු කිරීමක් නෙමෙයිද මේ ආකාරයේ දානමාන ලබාදීමෙන් සිද්ධ වෙන්නේ ? රටට ලෝකයට පේන්න ෆෝටෝ ගගහා දානමාන දෙන්න එපා.. දානයක් දුන් ආකාරයට නෙමෙයි යම්කිසි ආධාරයක් කල විදිහට මේ නිවාස වලට උපකාර කරන්න අපට බැරිද ? හැබැයි සමහරක් අය ඉන්නවා දුර දිග බලලා වැඩ කරන.. මං පෞද්ගලිකව දන්න කීපදෙනෙක් ඉන්නවා කිසිම දවසක තමන්ගේ නමවත් සඳහන් නොකර ආධාර ලබාදෙන.. කවදාවත් ඒ අය කිසිම දෙයක් මේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ... හොඳට හැදෙන්න කියන එක මිස...

අපි ගැන හිතලා බලන්න.. අපි කැමතිද කාගෙන්වත් යමක් පිනට ඉල්ලගෙන කන්න ? පව්කාරයෝ වගේ අපි දිහා බලනවට ? ඉතින් අර ළමයිනුත් අපි වගේම මනුස්සයෝ නේද ? අපිට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා නේද ? ඉතින් මේ හැම කරුණු කාරණයක් ගැනම හිතලා ඊළඟ වතාවෙ යම්කිසි ආධාරයක් ලබාදෙනවා නම් මේ වගේ නිවාස වලට ලබාදෙන්න...

ලෝකෙට පේන්න දාන දෙන්න ඕනෙ නෑ පින් ලබන්න.. සාක්කුවට බෑග් මළු වලට පුරවගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින් කියන්නේ... අවසානෙට මේකත් කියලම යන්නම්...

කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ "මනුස්සකම" මිනිසුනේ...
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ "මනුස්සකම" මිනිසුනේ...
 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009