Saturday, January 30, 2010

කොඩි ගහ යට උපන්නෝ... වැව් බැඳි රට නොදන්නෝ...


මම හෙට තියෙන ඉරිදා දිවයින පත්තරේ අන්තර්ජාල පිටපත අද කියවද්දී මගේ හිතට තදට බරට වැදෙන ලිපියක් කියවන්න ලැබුනා.. ඉතින් මේ ලිපියේ තියෙන්නේ රජරට වැව් වලට සිද්ද වෙලා තියෙන ඇබැද්දිය ගැන..

රජරට කිව්වොත් ඉතින් කාටත් මතක් වෙන්නේ ඊජිප්තුවේ පිරමීඩ වගේ අපේ පුංචි රටේ තියෙන මහා විශාලම දගැබ් ගොඩයි රජරට පුරාම තියෙන වැව් කන්දරාවයිනේ... ඉතින් මේ ටිකත් ඉස්සරහට නැති වෙලා ගියොත් ලංකාවේ බලන්ඩ දෙයක් කියලා ඉතුරු වෙන්නේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් එක වටේ තියෙන කක්කුටු වලවල් ටිකයි කොළඹ ලෝක වෙළඳ සංකීර්ණෙයි තමයි ඕං.. මේ ලිපියේ තියෙන කථාව නම් 100ට දෙසීයක්ම ඇත්ත... මේ ලිපිය ලියපු එප්පාවල ඒ කියන්නේ අපේ ගමට එහා පැත්තේ ගමේ රත්න බී. ඒකනායක මාමා අපේ පැත්තේ පරණම වැදගත් ජනමාධ්‍යවේදීයෙක්.. රජරට සේවෙත් නිවේදන කටයුතු එහෙම කලා මට මතක හැටියට..



මේ පින්තූරේ ගත්තේ අපේ ගෙදර පිටිපස්සේ තියෙන වැව ළඟදී.. ගම්බිරිගස්වැව කියල මේ වැවට කියන්නේ.. දැන් නම් මේ වැව කාලා, මේ ලිපියේ කියලා තියෙන විදිහටම...


කියවලා බලන්ඩකෝ මේ ලිපිය..


උපුටාගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය - 2010/01/31

කොඩිගහයට උපන්නෝ වැව් බැඳි රට නොදන්නෝ...

ඇමටිකක්‌ පොල් කටුවක දමාගෙන බිලීපිත්තත් රැගෙන වැව් කන්ඩියට යන මිනිසාගේ අරමුණ හා උත්සාහය වන්නේ හොද්ද බොරකර ගැනීමට මාළු දෙතුන් දෙනකු අල්ලා ගැනීමය. එසේ නැත හොත් අතමිට පුරවා ගැනීමට මාළු ටිකක්‌ විකුණා මුදලක්‌ උපයා ගැනීමය. ඉන් එහාට වැවේ පැවැත්ම ගැන හෝ ජලජ පැළෑටි බෝවීම ගැන හෝ වැව්තාවුලු අස්‌වැද්දීම ගැන හෝ ඔහුට රුදාවක්‌ නැත.

1948 වනතුරුම මෙරට කරවූ සුද්දෝ "දේශයේ ආර්ථික ආත්මය" බඳුවූ වැව් පද්ධතිය දුටු දුටු තැන විනාශ කළෝය. මහ වැව් දෙබෑවී යන පරිදි මහ වැව් මැදින් මහ පාරවල් දැම්මෝය. බ්‍රවුන්රීග් සුදු ආණ්‌ඩුකාරයා වැව්වල වැඩ කිරීම හා කට්‌ටි කැපීම රාජ දඬුවම් ලැබිය යුතු වරදක්‌ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. බ්‍රවුන්රීග් ආණ්‌ඩුකාරයාගේ සුදු නෝනා මල් පැළෑටියක මුහුණු වරින් මෙරටට ආනයනය කළ "ජපන්ජබර" ජලජ පැළෑටිය වැව්වලට බෝකොට එමගින් වැව් ගොඩවී යැමට සැලැස්‌සුවෝය. ඔවුන් මේ සියල්ල කරන ලද්දේ සිංහලයාගේ ආර්ථික කොඳු ඇටය වූ වැව් පද්ධතිය විනාශ කර දැමීමටය.

1948 සිට මේ රටේ පාලනය ස්‌වදේශිකයන් අතට පත්වුවත් කොඩිගහයට උපන් අයට වැව්බැඳි රටේ වැව් ගැන අංදෝසංසාරයක අවබෝධයක්‌ නොවීය. ඉඳහිට කලාතුරකින් එකෙකු දෙන්නෙකු සීමා මායිම් පැන ගොස්‌ වැව්ටික ගොඩ අදින්නට වෑයම් කළ අවස්‌ථා තිබිණ. නමුත් බහුතරය කළේ බිලීපිත්ත රැගෙන ගොස්‌ තමන්ගේ බඩකට පුරවා ගන්නට අතට අසුවන තරමින් මාළු ටික බාගැනීමය. අදත් වැව් බැඳි රටේ අපේ රජදරුවන් ඉදිකළ 3472 ක්‌ තරම් වූ වැව් පද්ධතිය දවසින් දවසම නටබුන් වෙමින් පවතී. දේශයේ බත සරිකර ගෙන ඇත්තේ වැව් පද්ධතියෙන් බව සුද්දන් තේරුම්ගෙන තිබූ නමුත් ස්‌වදේශීය පාලකයන්ට අඩසිය වසක්‌ ගෙවී යන තුරුත් වැව් පද්ධතියෙන් දුන් බතේ අගය තේරුම් ගැනීමට බැරි විය. නැතහොත් තේරුම් ගැනීමට වුවමනාවක්‌ ඇති නොවීය. ඊයේ පෙරේදා මේ රටේ වාරිමාර්ග අමාත්‍යාංශය බාරගත් ජීවන් කුමාරතුංග මහතා මේ රටේ විසිපන්දහසකට වඩා වැව්, අමුණු, ඇළ, දොළ ආදී ජල මූලාශ්‍ර නටබුන්ව ගොස්‌ ඇතැයි සඳහන් කළේ ඒ නිසාය.

අඩසිය වසකටත් වැඩි කාලයක්‌ ස්‌වදේශීය පාලකයන් රට කරවීමෙන් පසුවත් රටේ ජල මූලාශ්‍ර විසිපන්දහසකට වැඩි ප්‍රමාණයක්‌ නටබුන්ව ගොස්‌ ඇතැයි පාලකයන් විසින්ම කියනවිට අප මෙතෙක්‌ කල් රටට බත හදන්නට පොල් ගෑවා දැයි යන ප්‍රශ්නය නිතැතින්ම ඇති වෙයි.

අපේ රටේ ජල මූලාශ්‍රය වන්නේ අහස්‌ වැස්‌සය. විශේෂයෙන් රජරට හදන්නට නම් නැතහොත් බත් රටක්‌ කරන්නට නම් අහසින් වැටෙන වැස්‌ස පොළවෙන් පිටතට යා නොදී රැකගත යුතු යෑයි සිංහල රජදරුවන් කීවේත් කළේත් ඒ නිසාය. ලෝකෝපකාරයෙන් තොරව වැහි පොදකට පිටතට ගලා යන්නට දෙන්නට එපා යයි රටට ආදරය කළ පැරකුම්බාවන් කීවේ ඒ නිසාය. වියළි පොළවක්‌ පැතුරුණ රජරට හදන්නට නම් රජරට පුරාවට වැව් බැඳ වැව් බැඳි රටක්‌ බවට පත් කළ යුතු යෑයි ප්‍රත්‍යක්‍ෂයෙන් තේරුම්ගෙන පණ්‌ඩුකාභය රජු හාපුරා කියා අභය වැව ඉදිකරමින් ලෝකයට වාපි ශිල්පය හඳුන්වා දුන්නේ ඒ නිසාය.

රජරට බත් රටක්‌ කිරීමේ හෙවත් රජරට හැදීමේ මූලාශ්‍රය වැවයි. වැව් නොහදා රජරට හැදීමට නුපුළුවන. පැරණි රජ දරුවන් ගමක්‌ ගමක්‌ පාසා සුදුසු තැන්වල ඉහළ වැව්, කුළුවැව්, පෙරහන් වැව්, ගම්කොටු වැව්, මධ්‍ය වැව්, මහ වැව් ආදී වශයෙන් සෑම එල්ලංගාවක්‌ පාදකකොට වැව් පොකුරක්‌ නිර්මාණය කළේ ඒ නිසාය. අලුත් රජවරුන්ට අමුතුවෙන් වැව් හදන්නට රජරට ඉඩක්‌ නැත. අලුත් රජවරු කළ යුතුව ඇත්තේ අපේ පැරණි රජදරුවන් විසින් ඉදිකරන ලද සහ පසුව විදේශීය පාලකයන් විසින් විනාශ කරන ලද රජරට වැව් පද්ධතිය එකක්‌ නෑර

රැකබලා ගනිමින් පුනරුත්ථාපනය කිරීමය.

සමීපව අධ්‍යයනය කරමින් රජරට හදන්නට පත්වූ උතුරු මැද පළාත් සභාව මුලින්ම අතගැසිය යුතුව තිබුණේ වල්බිහිව නටබුන්ව විනාශ වෙමින් පැවති 3472 ක්‌ තරම් වූ රජරට වැව් පද්ධතිය සිංහල රජදා මෙන් පුනරුත්ථාපනය කිරීමටය. මේ වන විට රජරට පළාත් සභාවට වයස අවුරුදු 22 ක්‌ පිරී තිබේ. මිනිස්‌ ජීවිතයක නම් හොඳ තරුණ වයසය. නමුත් රජරට වැව් අතලොස්‌සක්‌ හැරෙන්නට තවමත් බොහෝ වැව් නටබුන්ව ගොස්‌ හෝ නටබුන් වෙමින් හෝ පවතී. අවුරුදුපතා විශේෂයෙන් මාස්‌ මෝසමට රජරටට වැටෙන මහ වැස්‌සෙන් දැනට ගොඩවී ඇති වැව් පිරී ගොස්‌ වැව් උතුරා වාන් දමා වැව්වලින් ඇළ දොළවලට ගලා ගොස්‌ වතුර ටික වැඩකට නැතිව පිටවී යයි. වෙනත් වර්ෂවලදී මෙන්ම 2009 වර්ෂයේදී ද ඒ ෙ€දවාචකය එපරිද්දෙන්ම සිදුවිය. රජරට හදන්නට බාරගත් පළාත් සභාව වාර්ෂිකව තමන්ට එකතු වන බදු මුදලින් 72% ක්‌ තරම තමන්ගේම නඩත්තුවට දියකරමින් වැව් ටික නටබුන්වී වැහි වතුර ටික පිටතට ගලා යන හැටි බලා සිටී. රජරට පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන පරිදි වර්ෂයකට පුනරුත්ථාපනය කරන්නේ වැව් විස්‌සකටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ විදියට වසරකට වැව් විස්‌ස බැගින් හදන්නට ගියත් වැව් 3472 ක හදා නිම කරන්නට වසර 173 ක්‌ පමණ ගතවිය හැකිය. අපේ ප්‍රධාන ආහාරය බතය. බත හදා දෙන්නේ වැවය. වැවට ඇති සැලකිල්ල මෙසේය. ඇමැති ජීවන් කුමාරතුංග මහතා සඳහන් කළාක්‌ මෙන් අපේ වැව්ටික මෙසේ අභාවයට ගොස්‌ ඇත්තේ "වැවේ අගය" පාලකයන් ඇඟට නොගැනීම නිසාය.

"වැව් හැදීම" යනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරන්නේ කාර්මික හා ඉංජිනේරු නිලධාරීන් එක්‌ව වැව ඇස්‌තමේන්තු කර කොන්ත්‍රාත්කරුවන්ට බාරදීමයි. වාරි ශිල්පය හා වාපි ශිල්පය දෙකකි. අපේ වාරි ඉංජිනේරුවන් ඉගෙන ගෙන ඇත්තේ බටහිරින් ගෙනා වාරි ශිල්පයයි. වාරි ශිල්පයට වඩා දේශීය වාපි ශිල්පයේ වෙනස්‌කම් තිබේ. වැවක පෙරමුණ පහමුණ කට්‌ටකඩුව වැව්තාවුල්ල, තුරුවදුල, පෝටාවැටිය, වැව්රක්‍ෂිතය, අයියනාමුණය, මඩ සොරොව්ව, දිය සොරොව්ව, බිසෝකොටුව, දියකැටපහණ වෑබැම්ම ආදී වැවක මූලික ගුණාංග රැකෙන පරිදි ඒවා නිසි ලෙස තේරුම් ගෙන වැව අලුත්වැඩියාවට බැසිය යුතුය. මේවා ගැන අංදෝසංසාරයක්‌ නොදන්නා සමහර ඉංජිනේරුවරු කාර්මික නිලධාරිවරු, වැව් අලුත්වැඩියාවට සැලසුම් සකස්‌ කරන අතර මේවා ගැන හයහතරක්‌ නොදන්නා කොන්ත්‍රාත්කරුවෝ පටන්ගත් තැන සිට අවසාන අනුමැතිය දක්‌වා දොළපිදේනි දෙමින්, වැවට බරපතල ලෙස අසාධාරණකම් කොට මුදල් ටික ගිලගනිති. මේ මූසල ක්‍රමය පවත්නාතාක්‌ පැරණි රජ දරුවන් ඉදිකළ රජරට වැව් පද්ධතියට වර්තමාන රජ පරපුරෙන් යුක්‌තිය හා සාධාරණය ඉටුවන්නේ නැත.

වැවක ගැඹුරු අරමුණ කෙතට වතුර ගැනීම නොවේ. රජරට වියළි පොළව භූගත ජලයෙන් පිරවීමය. ධාතුසේන රජු කලාවැවේ සිට තිසාවැව දක්‌වා වැව්දිය ගෙන ඒමට ඉදිකළ ඉපැරණි යෝධ ඇළ "අඟලේබැස්‌මට" ඉදිකර ඇතැයි අද ඇතැම් අය කියන නමුත් එහි සැබෑ රහස එය නොවේ. යෝධ ඇළ, කලාවැවේ සිට තිසාවැව දක්‌වා සැතපුම් 52 ක්‌ දුර පහත් බිමෙන් උඩ බිමට ජලය ගෙන යැමේදී සැතපුමෙන් සැතපුමට "දියකලි" 52 ක්‌ පිහිටුවමින් ජලය ගලායන්නට නොව උතුරා යන්නට සලස්‌වා ඇත. එයින් සිදුවී ඇත්තේ යෝධ ඇළේ දෑල භූගත ජලයෙන් පිරී යැමය. ධාතුසේන නිම්නය ලෙස සැලකෙන යෝධ ඇළ දෑල අදත් සරුසාර කෙත්වතුවලින් පිරී පවත්නේ අපේ වාපි ශිල්පයේ මහිමය නිසාය.

සිංහල රජදරුවන් රජරට පොළව වැව්බැඳි රටක්‌ බවට පත්කිරීමෙන් බලාපොරොත්තු වූයේ වියළි පොළව භූගත ජලයෙන් පිරවීමය. එය එපරිද්දෙන්ම ඉටුවී තිබිණ. වැව් ආශ්‍රිත ගම්මානවලට නලවලින් ජලය ගෙන යැමේ අවශ්‍යතාවයක්‌ නොවීය. පොළොවේ අඩි පහක්‌ හයක්‌ ගැඹුරට හෑරූවිට වතුර පිරෙන්නට පටන්ගනී. අප ළිං ජලය ලෙස යොදා ගත්තේ මේවාය. නියං සායට වැව් පතුල හාරා බීමට හා නෑමට ජලය ලබාගත හැකි වූයේද ඒ නිසාය. මේ යථාර්ථය තවමත් අපේ අලුත් රජවරුන්ට තේරුම් ගැනීමටවත් හැකිවී නැත.

කළ යුතුව තිබුණේ නටබුන්ව ගොස්‌ තිබූ ගමේ වැව නිසි ලෙස අලුත්වැඩියා කොට වැව වැසි ජලයෙන් පුරවා දීම වුවත් දැන් කරන්නේ වැව් පද්ධතිය එපරිද්දෙන්ම නටබුන් වන්නට හැර වගා ළිං යයි හඳුන්වා දෙන විනාශකාරී ජල එකතු මගින් භූගත ජලය එක්‌තැනකට සූරාගෙන රජරට වියළි පොළව තවදුරටත් වියළීමය. මේ වගා ළිං ක්‍රමය අපට මෑතකදී හඳුන්වා දෙන ලද්දේ වතුර පොම්ප වතුර බට හා වෙනත් ජල උපකරණ ආනයනය කොට අලෙවි කරන බහුජාතික සමාගම් මගිනි. ඔවුන්ගේ ජල උපකරණ ගොවි බිමට හඳුන්වා දීමේ උපායමාර්ගයක්‌ ලෙස "වගා ළිං ක්‍රමය" රජරටට හඳුන්වාදී ඒවා කපා ගැනීමට ද බහුජාතික සමාගම් මගින් මූල්‍ය ආධාර දෙනු ලබයි. මෙහි යථාර්ථය හඳුනා ගැනීමටවත් නොහැකි වූ ඇතැම් ප්‍රාදේශීය දේශපාලන නායකයන් "ඡන්ද මෙවලමක්‌" ලෙස ගොවීන්ට වගා ළිං බෙදාදෙයි. මේ වන විට රජරට පුරාවට වගා ළිං පහළොස්‌ දහසකට වඩා කපා ඇති බව භූගත ජලය පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය පී. බී. ධර්මසේන මහතා අවධාරණය කරයි. මේ නිසා එක්‌ පැත්තකින් රජරට වැව් පද්ධතිය නටබුන් වී යන අතර අනෙක්‌ පැත්තෙන් පැරණි රජදරුවන් විසින් භූගත කළ ජලය වගා ළිං හරහා උකහාගෙන රජරට පොළව තවදුරටත් වියළි හා ශුෂ්ක පොළවක්‌ බවට පත් කෙරේ. මේ අමන වැඩ නිසාම රජරට "බටහිර අනුරාධපුරය" වැනි ප්‍රදේශ වහ වහා කාන්තාරීකරණයට පත් වෙමින් ඇති බව රජරට එල්ලංගා පද්ධති පිළිබඳ සුවිශේෂ අධ්‍යයනයක්‌ කළ ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

"ගමේ වැව" රජයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැවක්‌ බවට පත්වූයේ සුද්දන්ගේ පාලනයේදීය. ඔවුන් "ගමේ වැව" රජයේ දේපොළක්‌ ලෙස බදාගෙන වැවත් වැව් ගම්මාන සංස්‌කෘතියත් මුළුමණින් විනාශ කර දමන ලදී. අපට නිදහස ලැබුණා. හැබෑනම් විශේෂයෙන් රජරටට නිදහස ලැබුණා හැබැනම් වැව් බැඳි රටේ සමස්‌ත වැව් පද්ධතියම රජයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. "වැව" ගමේ සම්පත වුවත් පෙර රජදරුවන් ගමට වැවක්‌ ඉදිකරදී වැව් ගම්මාන සංස්‌කෘතියක්‌ ඇති කළා වුවත් අද ඇතැම් දේශපාලකයන් වාරි නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් එක්‌වී කරගෙන යන්නේ වැව් අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් තම තමන්ගේ මළු පුරවා ගැනීමය. වැව ඉලක්‌ක කොට සකස්‌ කෙරෙන කොන්ත්‍රාත්තුවේ මුදලින් වැඩිමනාව තම තමන්ගේ සාක්‌කුවට පුරවා ගන්නවා හැරෙන්නට ගමේ පැවැත්ම ගැන හෝ වැවේ පැවැත්ම ගැන ඔවුන්ට කිසිදු රුදාවක්‌ නැත. කොන්ත්‍රාත්කරුවන් විසින් රුපියල් තිස්‌හතළිස්‌ ලක්‍ෂවලට කොන්ත්‍රාත් ගෙන අලුත්වැඩියා කරන වැව් අවුරුදු දෙක තුනක්‌ ගතවෙද්දී තිබුණාටත් වඩා නරක අන්දමින් වල්බිහිවී විනාශවී යන්නේ ඒ නිසාය. මෙයින් වසර තුන හතරකට පෙර රුපියල් හතළිස්‌ ලක්‍ෂය බැගින් වැය කොට අලුත්වැඩියා කරන ලද එළිය දිවුල්වැව, කන්ඩක්‌කුලම, කඳුරුගස්‌වැව, හුරීගස්‌වැව, එප්පාවල, ඉපලෝගම ආදී වැව් රාශියක්‌ අද වන විට තිබුණාටත් වඩා වල්බිහිවී විනාශවී ගොස්‌ තිබේ.

මහවැලි ජලය ගෙන ඒමේ මුවාවෙන් මහවැලි වැව් කලාපය තුළ පිහිටි ඉපැරණි යාය වැව් අසූහතරක්‌ එවකට සිටි මහවැලි බලධාරීන් විසින් විදේශීය ඉංජිනේරුවරුන්ගේ උපදෙස්‌ පරිදි පොළවට සමතලා කර දමා ඇත. කලාවැවේ සිට එප්පාවල දක්‌වා යෝධ ඇළ දෑලේ තිබූ යාය වැව් 84 ක්‌ මේ අන්දමට කපා පොළවට සමතලා කොට කුඹුරු අස්‌වද්දා ඇති අතර එච්. කලාපය තුළ පිහිටි තවත් යාය වැව් 125 ක්‌ තරම් අද වන තුරුත් වල්බිහිවී විනාශ වන්නට හැර තිබේ. කලාපීය වැව් කැපීමට එරෙහිව එප්පාවල ගොවි ජනතාව නැගී සිටීම නිසා වැව් කැපීම නවත්වන ලද නමුත් මහවැලි සැලැස්‌මේ සැලසුම්ගතව පැවති පරිදි කලාපීය යාය වැව් නොසලකා වල්බිහිවන්නට හැරීමේ ප්‍රතිපත්තිය අදටත් ක්‍රියාත්මකව පවතී.

වැව්බැඳි රටේ වැව් පද්ධතිය මෙසේ නටබුන් වී විනාශ වන්නට හැර තවත් පැත්තකින් පැරණි මහ වැව් අසූවක වැව් බැමි ශක්‌තිමත් කරන්නට රුපියල් මිලියන 7625 ක්‌ පොලී රහිත ණයක්‌ ලෙස ලෝක බැංකුව මගින් මේ වනවිටත් මේ සඳහා ස්‌ථාපිත කර ඇති "වේලි ආරක්‍ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ කමිටුවට" ලබාදී ඇත. මේ ණය මුදල යොදවා වැව් බැමි ශක්‌තිමත් කරන්නට තෝරාගෙන වැව් අතර රජරටට අයත් කලාවැව, නාච්චදූව, කවුඩුල්ල, මාදුරුඔය, නුවරවැව, මින්නේරිය, පරාක්‍රමසමුද්‍රය, නාලන්ද, කොත්මලේ, රාජාංගණය, කන්තලේ, රන්දෙණිගල, බෝවතැන්න, ගිරිතලේ, දඹුලුඔය, පොල්ගොල්ල, තිසාවැව, හුරුළුවැව, කන්ඩලම, රන්ටැඹේ, උස්‌ගලසියඹලන්ගමුව යන දැවැන්ත ජලාශ විසිඑකද පවතී. වසර දෙදහසකට වඩා වැඩි කලක්‌ නිරුපද්ද්‍රිතව පැවැති දේශීය වාපි ශිල්පයට අනුව ඉදිකරන ලද මේ ඓතිහාසික වැව් බැමි බටහිර වාරි ශිල්පයට අනුව යළි හාරා අවුස්‌සා ඉඳුල් කර දැමිය යුතු දැයි අපේ දේශීය වගකිවයුත්තන්ට නොපෙනෙන්නේ විදේශවලින් ලැබෙන ඩොලර් මිලියන 7625 ට කෑදරවීම නිසා දැයි විමසිය යුතුව ඇත. සැබැවින්ම අද අපේ රටේ වැව් පද්ධතියට අවශ්‍යව ඇත්තේ වැව් බැමි ශක්‌තිමත් දැයි කිරා බැලීම නොව රොන් මඩවලින් හා ජලජ පැළෑටිවලින්, පිරීගොස්‌ ගොඩවී වල්බිහිවී විනාශවී ඇති වැව් පද්ධතිය ඵලදායක ලෙස ප්‍රතිනිර්මාණය කර ගැනීමය.

වෙල ලස්‌සනයි තුන්හීවිට හාන කොට
ගේ ලස්‌සනයි වැසි වස්‌සන් අඬන කොට
පත ලස්‌සනයි මීදීකිරි බෙදන කොට
වැව ලස්‌සනයි නිල් මානෙල් පිපෙන කොට

"වැව" රජයේ දේපොළක්‌ නොවේ. එය අයිති ගමටය. ඒ අපේ සංස්‌කෘතියයි. වැව ගමට බාරදිය යුතුය. වැව අලුත්වැඩියා කිරීම නඩත්තු කිරිම හා රැකබලා ගැනීම පෙරදා මෙන් වැවෙන් ජලය ගෙන කුඹුරු වැඩ කරගන්නා ගොවීන්ට පැවරිය යුතුය. බ්‍රවුන්රීග් විසින් "වැව්වල කට්‌ටි කැපීම" තහනම් කරමින් පැනවූ මුස්‌පේන්තු නීතිය අවලංගු කොට වැව සහ වැවේ සියලු උපාංග රැකබලා ගැනීමේ වගකීම වැව් ගම්මානයට පැවරිය යුතුය. අපේ උරුමයක්‌ වූ වැව් ගම්මාන සංස්‌කෘතිය යළි අවදි කළ යුතුය. වැව ගමට බාර දෙන්න. රජයේ මුදල් ටික ඉතුරු වේවි. වැව ගමට බාරදෙන්න. ගමේ අය වැව රැකබලා ගනීවි. වැව ගමට බාරදෙන්න. ගමට ඇතිවන්නට බත හදාගනීවි. සශ්‍රීකත්වය එයයි. ස්‌වයං පෝෂණය එයයි. ලිපිය අවසන් කරන්නට "අපේකම" ගැන මහත් ආඩම්බරයක්‌ දැනෙන වැව් සංස්‌කෘතියේ කවියක්‌ මෙහි සටහන් කරමි.

එප්පාවල - රත්න බී. ඒකනායක



5 අදහස්:

Shaakunthala on January 30, 2010 at 11:37 PM said...

මොනව කියන්නද මේක බලලා... පොළොන්නරුවේ ගත කළ දවස් දෙක මතක් වෙලා ඇස් කෙවෙණි තෙමුණා ඇත්තටම.

Sam on January 30, 2010 at 11:53 PM said...

මේ වැව් රැක ගැනීම සදහා අය වැයෙන් වාර්ශික මුදලක් වෙන් කරයුතුයී. මේවා ශ්‍රමදාන දාල හදන්න පුලුවන් දේවල් නොවෙයීනේ. මම හිතන්නේ සීයට දෙකක වැට් බද්දක් සියලූම මිලදී ගැනීම් වලට එකතු කිරීම සාදරනයී කියලායී, ඒ මුදල් අපිට වැව් නඩත්තුව සදහා වෙන් කරන්න පුලුවන්. එහෙම නැත්තම් පිටරටින් ලාබෙට හාල් ගෙන්වීම තහනම් කොරලා, මේ වැව් ආශිත ඉඩම්වල ඉන්නා උදවියට වී වගාව කිරීම සදහා සහනාදාර ලබා දිය යුතුයී. ඒ සහනාදාර සදහා අපිට වෙනමම බද්දක් දාන්නත් පුලුවන්.
ඒ ආදයම හිලව් කරලා අපිට පිට රටකින් ණයක් අරගෙන දැන්මම මේවා පිලිසකර කොරන්න පුලුවන්.

ත‍රිඳු on January 31, 2010 at 8:30 AM said...

අනේ මන්දා. "කොඩිගහ යට ඉපදිච්ච" මං වගේ අයට ඕවයේ අගය හිත පතුලට කාවැදිලා නෑ අවංකවම. ඒ නිසා මේ වගේ ලිපි හරි වැදගත් අපට ඔය ගැන දැන ගන්න. ස්තූතියි. ඊලඟ වතාවේ රජරට ගියාම, වැව් දකිනකොට මට මේ ලිපියේ තියෙන දේ මතක් වෙයි.

Shaakunthala on January 31, 2010 at 11:52 PM said...

රජරට ගිහිං ඉන්න සතියක් හමාරක් විතර... එතකොට දැනෙයි ඇටමිදුළු පතුලටම...

මගේ ජීවිතේ මුල් අවුරුදු තුන ගෙවුණේ මැදිරිගිරියේ... තාමත් යාන්තමට මතකයි ඇළේ නාන්න ගිය හැටි.

උදාරයා on March 11, 2010 at 6:15 PM said...

නියම ලිපියක් සහො...

තවත් උදාරයෙක් හදුනා ගැනිම ගැන සතු‍ටුයි

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009